2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

එංගලන්ත තරගාවලියෙදිවත් වැරදි හදාගන්න බලමු

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 142

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ලැබූ මාර පරාජයෙන් පසුව ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්ත පිලට එරෙහිව තරග පහකින් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ලබන බදාදා දඹුල්ලේදී ආරම්භ කරයි. ශ්‍රී ලංකා පිල ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්ව දින 16 ක තරගාවලිය දින තුනකින් අවසන් කර නැවත පැමිණීමත් සමඟ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත විය.

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා පිලට නැවත හිස එසවීමට හොඳ අවස්ථාවක් බවට පත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කළ තේරීම් කමිටුව දිනේෂ් චන්දිමාල් නායකයා ලෙස පත්කළේය. ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉන් නොනැවති ඇන්ජලෝ මැතිව්ස් එක්දින සංචිතයෙන් ද ඉවත්කිරීමට කටයුතු කළේය. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කිරීමට ඇතැමුන් වෙනත් උපක‍්‍රම ද භාවිතා කිරීමට සූදානම් වූ බව වාර්තා වේ. කෙසේ වෙතත් මැතිව්ස් නොපැකිළිව නායකත්වයෙන් ඉවත්වීම හේතුවෙන් ඔවුන්ගේ එම උපක‍්‍රම අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

එහිදී නිලධාරීන් දෙපළක් දුරකථනයෙන් මැතිව්ස්ට මෙසේ පවසා ඇති බව දැනගන්නට තිබේ.

“ඔයාගේ අර මොකක්ද එකකුත් යනවා. ඒ නිසා දැන් ඔයාට කොහොමත් නායකයා හැටියට වැඩ කරන්න බෑ. ඒ නිසා අයින් වෙන එක හොඳයි” ලෙස අදාළ ප‍්‍රධානීන් දෙපළ පවසා ඇතැයි වාර්තා වේ. තම නිර්දෝෂි බව හොඳින්ම දන්නා මැතිව්ස් එවැනි දේවලට ආවොත් තමන්ද නිශ්ශබ්දව නොසිටින බවත් ඒ තමන් බව ඔප්පු කරන ලෙසත් අභියෝග කර තිබේ. 

මෙම පරාජයත් සමඟ මැතිව්ස් අපහසුතාවයට පත්කිරීමට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් සකස් කරන ලදැයි කියන විඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබූ බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එය එම ක‍්‍රීඩකයාගේ නොවන බව ඔහු පවසන බවය. වසර 10 කට ආසන්න පැරණි විඩියෝවක් සකස් කර ඇති බවට පෙනී යන බවද කියති.

අදාළ වීඩියෝව ශ්‍රී ලංකාවේ වෙනත් ක‍්‍රීඩාවකට සම්බන්ධ හිටපු ක‍්‍රීඩකයකුට සම්බන්ධ එකක් බව ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කථා බහට ලක්ව තිබේ. මැතිව්ස් අපහසුතාවට පත්කිරීමේ සැළැසුමක ප‍්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලයට මෙය මුසුකර තිබේ. 

අවසානයේ තේරීම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස් එක්දින සංචිතයෙන් ඉවත්කරමින් පැවසුවේ ඔහු ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වූයේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය මඟ හරිමින් බවයි. එය එසේ නම් එයටද හරි හරියට තේරීම් කමිටුව වගකිව යුතුය. එය ඇන්ජලෝ මැතිව්ස්ගේ පිට පැටවිය නොහැකි අතර ඒ සඳහා සම්පූර්ණයෙන්ම තේරීම් කමිටුව වගකීම බාරගත යුතුය. 

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීම පිටුපස මෙහෙයුමේ විවිධ උපක‍්‍රම ඔස්සේ කණ්ඩායමට රිංගූ වේගපන්දු යවන්නකු ද සිටින බව ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. ආසියානු කුසලානය හමාර කර ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මව්බිමට පැමිණෙන විටත් අදාළ වේගපන්දු යවන්නා ඔහුගේ විවිධ සම්බන්ධතා උපයෝගී කරගනිමින් ක‍්‍රීඩා බලධාරීන්ට මැතිව්ස් පිළිබඳව විවිධ දේ පවසා තිබුණි. ඒ හේතුවෙන් මැතිව්ස් පිළිබඳව ක‍්‍රීඩා බලධාරීන් තුළද පැහැදීමක් නොතිබුණු බව වාර්තා වේ. 
ආසියානු කුසලාන තරගාවලියේ අසාර්ථකත්වය උපයෝග කරගනිමින් තේරීම් කමිටුව කුසල් මෙන්ඩිස් ද සංචිතයෙන් ඉවත්කිරීමට පියවර ගත්තේය. පිහිය රන් වුවද එයින් ඇනගතහොත් තුවාල වන බව මෙහිදී සිහිපත් කළ යුතුය. එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලියට සදීර සමරවික‍්‍රම නැවතත් කැඳවා තිබේ. 23 හැවිරිදි සදීර පසුගිය වසරේ අග ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියට සහභාගි වුවද එහිදී ඔහු අසාර්ථක විය.

ඉන්දියාවේදී පැවැති එම තරගාවලියේදී අසාර්ථක වුවද සදීර අතහැරිය නොහැකි පිතිකරුවෙකි. ඒ හේතුවෙන් කුසල් වෙනුවට සදීර කැඳවීම හොඳ තීරණයකි. නමුත් එය මෙම තරගාවලියට පමණක් සීමාවුවහොත් එය පළ රහිත වේ. නිරෝෂන් දික්වැල්ලට ද අඛණ්ව අවස්ථාව හිමිවුවහොත් ඔහුගෙන්ද එක්දින සහ විස්සයි20 තරගවලදී වැඩි ප‍්‍රයෝජනයක් ගතහැකිය. මෙහිදී කළ යුත්තේ සංචාරයෙන් සංචාරයට කණ්ඩායම වෙනස් කිරීම නොව අඛණ්ඩව තරග අවස්ථාව ලබාදීමය. මෙම තරගාවලියේ සිට හෝ එය කළ හොත් ලෝක කුසලාන තරගාවලියට වන විට ස්ථාවර කණ්ඩායමක් නිර්මාණය කරගත හැකිය.

තිසර පෙරේරා සහ දසුන් ශානක යන දෙපළගෙන් කෙනකු පමණක් එක්දින තරගවලදී යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එම දෙපළම යොදා ගැනීමෙන් එක ක‍්‍රීඩකයකුගෙන් උපරිමය ලබාගැනීමේ අවස්ථාව අහිමිවේ. එය එසේ වුහොත් පිතිකරු ලැයිස්තුව දුර්වල වන බව ආසියානු කුසලාන තරගාවලියේදී ප‍්‍රදර්ශනය විය. ආසියානු කුසලාන තරගාවලියට නිලධාරියකු ලෙස සහභාගි වී සිටි ලෝක පූජිත හිටපු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකු ශ්‍රී ලංකා පිලේ සංයුතිය පිළිබඳව මෙසේ පවසා ඇති බව වාර්තා වේ. 

“අපි ලෝක කුසලාන දිනලත් බැට්ස්මන්ලා පස්දෙනෙක්ගෙන් ගැහුවේ නෑ. ඉතින් මේ කණ්ඩායම කොහොමද බැට්ස්මන්ලා පස්දෙනෙක්ගෙන් ගහන්නේ. එක්කෙනෙක්ගෙන් ලකුණු දැකපු කාලයක් මතක නෑ.”

“අපි ගහන්න  ඕනේ අපේ විදියට. ඕල්ඩ් රවුන්ඩස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මෙහෙම ඉන්ටර්නැෂනල් ගහන්න බෑ” යැයි එහිදී හිටපු සුපිරි ක‍්‍රීඩකයා පවසා තිබුණි. ක‍්‍රීඩාවෙන් සමුගත් ක‍්‍රීඩකයන් නැවත කණ්ඩායමට ගෙන ඒම “කැහි ගෑනි දිලා හොටු ගෑනි ගත්තා” වැනි වැඩකි. එවැනි පියවර පළරහිත බව අමුතුවෙන් කිවයුතු නැත. 

ශ්‍රී ලංකා පිලට හිටපු ක‍්‍රීඩකයන්ගේ උපදෙස් ලබාගැනීමට මෙය කදිම අවස්ථාවකී. රොෂාන් මහානාම වැනි ක‍්‍රීඩකයන් ඒ සඳහා  ඕනෑම අවස්ථාව සූදානම් බවද පවසා තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් තුළ ඇත්තේ දස්කම් පිළිබඳව ප‍්‍රශ්නයක් නොව පීඩනය කළමනාකරණය කිරීම පිළිබඳ මානසික ප‍්‍රශ්නයකි. එයට හදිසි ප‍්‍රතිකාර ලබාදුනහොත් සාර්ථකත්වය ලබා ගැනීමට එතරම් කාලයක් ගතනොවනු ඇත.

ශ‍්‍රී ලංකා එක්දින සංචිතය:

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, සදීර සමරවික‍්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල පෝන්සු, ලක්‍ෂාන් සඳකැන්, නුවන් ප‍්‍රදීප්, කසුන් රාජිත සහ කුසල් පෙරේරා 

♦ සටහන: යොහාන් භාසුර