2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

නිලවරණ කමිටු නීති වෙනස්කම් එළියට

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම අධිකරණය විසින් අත්හිටුවනු ලැබීම පිළිබඳව බොහෝ දෙනකුගේ දැඩි කථාබහට ලක්විය. ඒ පිළිබඳව මේ වනවිට ක‍්‍රීඩා අමාත්‍යවරයාටද චෝදනා එල්ල වී තිබේ. මෙම වසර මැදදී ක‍්‍රිකට් නිලවරණය පැවැත්වීමට පත්කළ නිලවරණ කමිටුව නීති විරෝධී වීම නිසා ක‍්‍රීඩා අමාත්‍යවරයා එම නිලවරණ කමිටුව අත්හිටුවා නව කමිටුවක් පත්කරන ලෙස නියම කළේය.

එයද ප‍්‍රමාණවත් නොවන බව පැවසූ ක‍්‍රීඩා අමාත්‍යවරයා නිලවරණ කමිටුව සම්බන්ධයෙන් දැනට ක‍්‍රීඩා නීතියේ පවතින නියමයන් සංශෝධනය කිරීමට පියවර ගෙන නිවැරදිව කටයුතු කරන බව පැවසීය. අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ප‍්‍රතිඵල ගෙන දෙමින් පසුගිය සතියේ ක‍්‍රීඩා අමාත්‍යංශය එම සංශෝධන ප‍්‍රසිද්ධියට පත්කළේය. 

ශ්‍රී ලංකාවේ සමස්ත ක‍්‍රීඩාව පසුගිය කාලයේ දැඩි අර්බුදයකට පත්කර තිබූ ජාතික ක‍්‍රීඩා සංගම්වලට නිලධාරීන් පත්කිරීම, නිලවරණ කමිටු පත්කිරීම, නිලවරණ ඡන්දය භාවිතා කිරීමට හිමිකම් කියන ක‍්‍රීඩා සමාජ, අනුබද්ධ ආයතන, සාමාජිකයන් නිශ්චය කිරීමට අදාළ නව විධිවිධාන ඇතුළත් ක‍්‍රීඩා නීතියේ නව වෙනස් කිරීම පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රසිද්ධියට පත්කළේය. මේ අනුව 1973 අංක 25 දරන ක‍්‍රීඩා නීතියේ ඉහත කරුණුවලට අදාළ රෙගුලාසි සංශෝධනය කර තිබේ.

ඒ අනුව 2016//10/27 දිනැති හා අංක 1990/23 දරන ජාතික ක‍්‍රීඩා සංගම් නියෝගවල නියෝග අංක 2(4) නියෝගයට පසුව දැක්වෙන නියෝග ඇතුළත්කර තිබේ. එහිදී ජාතික ක‍්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීම, විශේෂ මහ සභාවක් හෝ අති විශේෂ මහ සභාවක් පවත්වා සාමාජිකයන්ගෙන් සමන්විත නිලවරණ කමිටුවක් පත්කිරීම සහ නාමයෝජනා කැඳවීම හා නිලවරණය පැවැත්වීම පිළිබඳ සංශෝධන එහි ඇතුළත් වේ. එහිදී සෑම සංගමයකම නිලවරණයකදී සාමාජිකයන් තිදෙනකුගෙන් යුත් කමිටුවත් පත්කිරීම අනිවාර්ය වේ. 

මෙහිදී ‘ඒ’, ‘බී’ සහ ‘ඇ’ ලෙස සංගම් වර්ගීකරණ කර එහිදී ‘ඒ’ ශ්‍රේණියේ සංගමයක නිලවරණ කමිටුවට අනිවාර්යයෙන් මහාධිකරණ හෝ අභියාචනාධිකරණ විශ‍්‍රාමලත් විනිශ්චකාරවරු දෙදනෙකු ඇතුළත් විය යුතුය. ජාතික ක‍්‍රීඩා සංගමය ‘බී’ ශ්‍රේණියේ සංගමයක් නම් එයට නිවාර්යෙන් මහාධිකරණ හෝ අභියාචනාධිකරණ විශ‍්‍රාමලත් විනිශ්චකාරවරයකු ඇතුළත් විය යුතුය. ජාතික ක‍්‍රීඩා සංගමය ‘ඇ’ ශ්‍රේණියේ සංගමයක් නම් එයට සංගමයේ ක‍්‍රියාකාරි සාමාජිකයන් නොවන නිලවරණ පැවැත්වීම පිළිබඳව පළපුරුද්දක් ඇති විශ‍්‍රාමික රාජයේ නිලධාරීන් තිදෙනකු ඇතුළත් විය යුතුය.  
මෙම සංශෝධනයන් තුළින් ක‍්‍රීඩා අමාත්‍යවරයා බලාපොරොත්තු වන සාධාරණ නිලවරණයක් පැවැත්වීමේ අවස්ථාව ලැබේද යන්න දෙස බලාසිටිමු. 

♦ වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00