2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ආසියානු ක්‍රීඩා උළෙල : කෝටි 2 ½ ම වතුරේ

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් මිලියන 25ක් තමයි දෙන්න පොරොන්දු වුණේ. නමුත් දැන් ඒ ගානත් පැනලා තියෙන්නේ” යැයි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගියදා පැවැති සාකච්ඡාවකදී ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශ දැරූ වියදම එසේ හෙළි කළේය.

“අමාත්‍යංශයේ නිලධාරීන් පුහුණුකරුවන් සහ නිලධාරීන් ලෙස සහභාගිවෙලා තියෙනවා. ඔවුන් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන්ද දීමනාව ලබාගෙනයි ගිහින් තියෙන්නේ. ඒක සාධාරණ නෑ. මම මේවා වෙනස් කරනවා. කාලයක් ඉඳලා පැවැති දේවල් මේවා. එකපාරටම වෙනස් කරන්න බෑ. නමුත් ඒවා දිගටම වෙන්නත් බෑ” යැයි ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

ක‍්‍රීඩා අමාත්‍යංශයේ විවිධ තනතුරු දරණ නිලධාරීන් දහයකට වැඩි සංඛ්‍යාවක් ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ පුද්ගලයන් 250 කට අධික ‘මෙගා’ වන්දනා නඩයට ඇතුළත්ව සිටි අතර එම පුද්ගලයන් තරගාවලියට සහභාගිවීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයද දීමනාවක්ද ලබාගෙන තිබේ. ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා සහ නියෝජ්‍ය ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එකවර මෙසේ ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමෙන් අමාත්‍යංශයේ කටයුතු ඇනහිටීම පිළිබඳව අමාත්‍යවරයා නොසතුටින් පසුවෙයි.

“මම ඒ දෙපළට යන්න සමස්ත ලැයිස්තුවට අත්සන් කළා. නමුත් මම කිව්වා එකවර යන්න එපා කියලා. නමුත් දැනුවත් කිරීමකින් තොරව අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් ගිහිල්ලා. නැවත පැමිණියාට පසුව මා ඒ පිළිබඳව කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් හෙළි කළේය. මෙම නිලධාරීන් කාලයක සිට මේ ආකාරයට ආසියානු ක‍්‍රීඩා උළෙලට වඩා ප‍්‍රමිතියෙන් අඩු තරගාවලිවලට පවා සහභාගි වී අමාත්‍යංශයෙන් මුදල් ලබාගන්නා අතර මෙවර ක‍්‍රීඩා අමාත්‍යවරයා එය හෙළි කිරීම පැසසුමට ලක්කළ යුතුය.

ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ තමන් ඒ පිළිබඳව දැනුවත්ව සිටියද මේවා වසර ගණනාවක සිට පැවැති පුරුදු වීම හේතුවෙන් එකවර නතර කළ නොහැකි බවත් තමන්ට ඇතැමුන් මේ වනවිටත් දොස් කියන බවත්ය. ආසියානු ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා අමාත්‍යංශය වැයකළ ජනතා මුදල් රුපියල් මිලියන 25ක් යනු ලක්‍ෂ 250 කි. ජනතාව ගෙවන බදු මුලක් ලක්‍ෂ 250 ක් යනු සුළුපටු කාරණවක් නම් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එවැනි මුදලක් වියදම් කළේ නම් එයට වටිනාකමක් ලැබිය යුතුය. මෙම සටහන තබන පසුගිය බ‍්‍රහස්පතින්දා වනවිට ආසියානු ක‍්‍රීඩා උළෙල අවසන් වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබූ අතර ශ‍්‍රී ලංකා ‘මෙගා’ කණ්ඩායම හිස් අතින් රැඳී සිටියේය.

මෙහිදී ශ‍්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ ගෝල 20-0 ක ‘මාර පරාජයක්’ ලැබීම බොහෝ දෙනකුගේ කථාබහට ලක්ව තිබේ. මෙවැනි ක‍්‍රීඩා කණ්ඩායම් සහභාගි කරවීමේ වගකීම කවුරුන් බාරන්නේ දැයි යන ගැටලුව මෙහිදී මතුවේ.

ශ‍්‍රී ලංකාවට මලල ක‍්‍රීඩාවෙන් පදක්කමක් දිනාගත හැකි යැයි විශ්වාසයක් තබා තිබුණද මේ වනවිට එයට පුස්සක් බවට පත්ව තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කීපදෙනකු පමණක් අවසන් තරගවලට සුදුසුකම් ලබමින් හය, හත ස්ථාන ලබාගත්හ. මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට පෙර දුර පැනීමේ ඉසව්වෙන් ජානක විමලසිරි ආසියානු ක‍්‍රීඩා වාර්තාවද අභිබවා සිටියේය. කෙසේ වෙතත් ක‍්‍රීඩා උළෙලේදී ඔහු මීටර 7.86 ක් පමණක් පනිමින් 7 වැනි ස්ථානයට පත්විය. ගයන්තිකා අබේරත්න මීටර 800 කාන්තා ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තද හයවැනි ස්ථානයට පත්වූවාය. එම ඉසව්වේ ශ‍්‍රී ලංකාවේ බලාපොරොත්තු වූ නිමාලි ලියනාරච්චි අවසන් තරගයට සුදුසුකම් නොලැබීම කැපී පෙනුණි.

කාලිංග කුමාරගේ මීටර 400 පිරිමි ඉසව්වේ 8 වැනි ස්ථානයට පත්විය. රුමේෂිකා රත්නායක මීටර 200 ඉසව්වේ අවසන් පූර්ව තරගයෙන් ඉවතට විසිවූවාය. මෙවර ද සුපුරුදු ලෙස තම සැමියා වන පුහුණුකරු සහභාගි නොකිරීම හේතුවෙන් දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ බවට අඳෝනාවල් ද ඉන්දුනීසියාවෙන් අසන්නට ලැබුණි. 

මෙම ‘මෙගා’ කණ්ඩායම ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ආසියානු ක‍්‍රීඩා උළෙලකට සහභාගි වන දැවැන්තම කණ්ඩායම යැයි විකෘති සතුටක් ලැබූ ජාතික ඔලිම්පික් කමිටුව මෙම ප‍්‍රතිඵලය තුළ ලැජ්ජා විය යුතුය. ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ට ලැජ්ජාවක් තිබේ නම් දිගින් දිගටම මෙවැනි දේ සිදුවීමට ඉඩක් නැත.

ක‍්‍රීඩා අමාත්‍යංවරයා ආසියානු ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් එසේ නැත්නම් ක‍්‍රීඩා අමාත්‍යංශය වැය කළ ලක්‍ෂ 250 කට අධික මුදලට ලබාදෙන වටිනාමක් පිළිබඳව අපි බලා සිටිමු.  

♦ වරකාගොඩ ගමගේ