2018 ජුනි 30 වන සෙනසුරාදා

ජර්මනිය හඬයි

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 158

♦ ලෝක ශූරයන්ගේ පරාල ඇණය ස්වීඩනය
♦ ආර්ජන්ටිනාව නූලෙන් ගොඩ
♦ අයිස්ලන්තයට උණුසුම් පැතුම්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 15 වැනි අවසන් වෙද්දි තරගාවලියේ උණුසුම එන්නම වැඩි වී තිබේ. කණ්ඩායම් කිහිපයක්ම 16දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූ අතර ප‍්‍රබල කණ්ඩායම් කිහිපයක්ම අනපේක්ෂිත පරාජ උරුම කරගත්තේය. මෙසීගේ ආර්ජන්ටිනා කණ්ඩායම ක්‍රොඒෂියාව හමුවේ 3-0ක් ලෙසත් ජර්මානු කණ්ඩායම දකුණු කොරියාවෙන් 2-0ක් ලෙසත් ලැබූ පරාජය ඉන් මුල් තැනක් ගත්තේය.

ආර්ජන්ටිනා කණ්ඩායම ක්‍රොඒෂියාවේ හමුවේ ලද පරාජයෙන් ඔවුන්ගේ ලෝක කුසලාන ඉදිරි ගමන අනපේක්ෂිත තත්ත්වයකට ඇද වැටිණි. එසේ හෙයින් ඔවුන් ඊළඟ තරගය අනිවාර්යයෙන්ම ජයගත වූ අතර අයිස්ලන්තය පරාජයට පත්විය යුතුව තිබිණි. එය ඒ අයුරින්ම සිදුවිය. ආර්ජන්ටිනා කණ්ඩායමට ඔවුන්ගේ ඊළඟ තරගය යෙදී තිබුණේ නයිජීරියා කණ්ඩායම සමගය. ආර්ජන්ටිනා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි කිහිපයකදීම නයිජීරියා කණ්ඩායම මුණගැසී තිබුණු අතර එම සෑම අවස්ථාවකදීම ජය තමන් සතු කරගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත්විය.

මෙවර තරගයේ පළමු ගෝලය ලයනල් මෙසී වාර්තා කළ අතර ආර්ජන්ටිනා බලාපොරොත්තු සුන් කරමින් තරගයේ 51 වැනි විනාඩියේදී නයිජීරියා කණ්ඩායමේ වික්ටර් මෝසෙස් දඬුවම් පහරක් ලබාගත්තේය. එම අවස්ථාව සාර්ථක කරගත් ඔහු තරගය 1x1 ක් ලෙස සම කළේය. තරමක පසුබැසීමකට ලක්ව සිටි ආර්ජන්ටිනා කණ්ඩායමේ ගැලවුම්කරු බවට පත්වීමට මාර්කස් රෝජෝ සමත්වූයේ ඉතිහාසය නැවත නැවත සිදුවෙන බවට ඉඟියක් දෙමිනි. වසර 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ආර්ජන්ටිනා කණ්ඩායම සහ නයිජීරියා කණ්ඩායම 3x2ක් ලෙස ජය ගත්තේය. එම තරගයේදී මෙසී ගෝල 2ක් වාර්තා කළ අතර එහිදීද ගැලවුම්කරු බවට පත්වූයේ රෝජෝය. එම තරගය අතරතුරේදී ආර්ජන්ටිනා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කරන අනෙක් තරගයද පැවැත්විණි. අයිස්ලන්තය හා ක්‍රොඒෂියාව අතර පැවැති එම තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම තහවුරු කරමින් ක්‍රොඒෂියා කණ්ඩායම 2x1 ලෙස තරගය ජය ගත්තේය. එසේ වුවත් තරගාවලියට නවක කණ්ඩායමක් වූ අයිස්ලන්ත කණ්ඩායම ලෝ පුරා පාපන්දු ලෝලීන්ගේ ආදරය දිනාගත් කණ්ඩායමක් බවට පත්විය. නවක කණ්ඩායමක් වූ අයිස්ලන්ත කණ්ඩායම ආර්ජන්ටිනාව, නයිජීරියාව සහ ක්‍රොඒෂියාව යන පාපන්දු පිටියේ පුරුදුකාරයන්ට දැඩි අභියෝගයක් විය. සෑම තරගයකදීම ඔවුහු හොඳ කී‍්‍රඩාවක නිරත වූහ.

පසුගිය වර ලෝක ශූරයන් වූ ජර්මානු කණ්ඩායම තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වූයේ රුසියානු භූමියේදී ඔවුන්ට ජයක් නොමැති බවට ඉතිහාසයේ ලියා වී ඇති කරුණ ද සනාථ කරමිනි. එෆ් කාණ්ඩය යටතේ තරග වැදුණු ලෝක ශූරයන් මෙන්ම ශ්‍රේණිගත කිරීම්වල අංක 1 කණ්ඩායම වන ජර්මානු කණ්ඩායමට ජයගැනීමට හැකිවූයේ එක් තරගයක් පමණි. මෙක්සිකෝව හමුවේ 1x0ක් ලෙසත් දකුණු කොරියාව හමුවේ 2x0ක් ලෙසත් ලැබූ පරාජ හේතුවෙන් ජර්මානු කණ්ඩායමට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

අවසාන වරට පැවැති ලෝක කුසලාන තරගාවලි ති‍්‍රත්වයම කලින් වතාවේ ලෝක ශූරතාව දිනූ කණ්ඩායමට එතරම් සතුටුදායක නොවීය. අවසාන වරට පැවැති ලෝක කුසලාන තරගාවලි ති‍්‍රත්වයේදීම ලෝක ශූර කණ්ඩායම්වලට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිය. වසර 2010 දී ඉතාලි කණ්ඩායමට ද 2014 වසරේදී ස්පාඤ්ඤ කණ්ඩායමට ද මෙවර තරගාවලියේදී ජර්මානු කණ්ඩායම ද තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් විය. ඉතාලි කණ්ඩායම 2006 ලෝක ශූරයන් වූ අතර, ස්පාඤ්ඤ කණ්ඩායම 2010 සහ ජර්මානු කණ්ඩායම 2014 ලෝක ශූරයන් විය. 

එම කණ්ඩායම් ‘ගෙදර යැවීමේ’ ප‍්‍රමුඛ කණ්ඩායම ස්වීඩනය බවට පත්වීම ද දෛවයේ සරදමකි. ස්වීඩන කණ්ඩායම ඉතාලිය, නෙදර්ලන්තය සහ ජර්මානු කණ්ඩායම් ලෝක කුසලාන සිහින බොඳ කරන කණ්ඩායම බවට පත්ව තිබේ. කෙසේ නමුත් මෙවර තරගාවලියේදී ජර්මානු කණ්ඩායම ලැබූ එකම ජය ලැබුවේ ස්වීඩන කණ්ඩායමට එරෙහිවය. එසේ වුවත් එෆ් කාණ්ඩයේ මුල් තැන ගනිමින් 16 වටයට පිවිසීමට ස්වීඩන කණ්ඩායම සමත්වූ අතර මෙක්සිකෝ කණ්ඩායම එෆ් කාණ්ඩයේ දෙවැනි තැනට පත්විය. ජර්මානු කණ්ඩායමට හිමිවූයේ සිව්වැනි තැනය. 

මෙවර තරගාවලියේ අනෙක් පෙරළිකාර කණ්ඩායම බවට පත්වූයේ ජපාන කණ්ඩායමයි. පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී ලතින් ඇමෙරිකානු කණ්ඩායමක් පරාජයට පත්කළ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වූ ජපාන කණ්ඩායම සෙනගාලය හා පැවැති තරගය 2x2 ක් ලෙස සම කරගනිමින් එච් කාණ්ඩයේ මුල් තැන ගැනීමට සමත් විය. ඔවුන් කොලොම්බියාව සමඟ පැවැති තරගය 2x1 ලෙස ජයගත් අතර ඔවුන් පසුගිය 28 වැනිදා පෝලන්තය හා තරග වැදීමට නියමිතව තිබිණි. 

වැඩි කතාබහකට ලක්නොවූ එහෙත් ප‍්‍රබල කණ්ඩායමක් වන එංගලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ ඔවුන්ගේ ආධිපත්‍යය ව්‍යාප්ත කරමින් සිටී. ඔවුන්ද 28 වැනිදා බෙල්ජියම සමඟ තරග වැදීමට නියමිතව තිබිණි. බෙල්ජියානු කණ්ඩායම ටියුනීසියාව සමඟ පැවැති තරගයේදී ගෝල 5x2ක් ලෙස ජය ලැබූ අතර එංගලන්තය ටියුනීසියාව පැවැති තරගය 2x1ක් ලෙස ජය ලැබීය. ජී කාණ්ඩයේ අනෙක් කණ්ඩායම වූයේ පැනමා කණ්ඩායමයි. ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් තරගාවලිය වන ‘ලෝක කුසලාන අවසන් තරගාවලියකට’ සහභාගී වන පළමු අවස්ථාව මෙයයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන තරගාවලිය යනු අවසන් 32 දෙනාගේ වටයයි. ඊට පෙර පැවැත්වෙන්නේ ලෝක කුසලාන සුදුසුකම් තරගයි.

පැනමා කණ්ඩායමේ තම පළමු ලෝක කුසලාන තරග අත්දැකීම එතරම් යහපත් නොවීය. බෙල්ජියම හමුවේ 3x0ක පරාජයක් ලැබූ පැනමා කණ්ඩායම එංගලන්තය හමුවේ 6x1ක දැවැන්ත පරාජයක් ලැබීය. එම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායක හැරී කේන් ගෝල ත‍්‍රිත්වයක් වාර්තා කළේය. එංගලන්ත කී‍්‍රඩකයකු පාපන්දු ලෝක කුසලාන අවසන් තරගාවලියකදී අවසාන වරට ගෝල ති‍්‍රත්වයක් වාර්තා කර තිබුණේ 1980 දශකයේදීය. කෙසේ නමුත් ලෝක කුසලාන තරගාවලියකදී පැනමාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ කී‍්‍රඩකයා ලෙස ඉතිහාස ගතවීමට පැනමා කණ්ඩායමේ ෆිලිපේ බැලෝයි සමත්විය. එංගලන්තය සමඟ පැවැති තරගයේදී වාර්තා වූ එකම ගෝලය වාර්තා කළේ ඔහුය. 

පාපන්දු ලෝකයේ බිහි වූ විශිෂ්ටතම කී‍්‍රඩකයා ලෙසින් හැඳින්වෙන මෙසීට අයිස්ලන්තය හමුවේ පැවැති තරගයේදී දඬුවම් පහර සාර්ථක කරගැනීමට නොහැකි වීම මෙසීට ආදරය කරන බොහෝ දෙනකුගේ කනගාටුවට හේතු වූ අතර මෙසීගේ ප‍්‍රතිවාදියා වන පෘතුගාල කණ්ඩායමේ රොනාල්ඩෝ ලෝලීන්ට එය මහත් ආස්වාදයක් විය. එසේ වුවත් රොනාල්ඩෝට ද දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට නොහැකි විය. ඉරානය සමඟ පැවැති තරගයේදී ඔහුට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කරගැනීමට රොනාල්ඩෝ අසමත් විය. 

ජූනි 28 වැනිදා පාපන්දු ලෝක කුසලානයේ පළමු වටයේ තරග අවසන් වීමට නියමිතව තිබිණි. එදින වනවිට ආර්ජන්ටිනාව, ප‍්‍රංශය, උරුගුවේ, පෘතුගාලය, ස්පාඤ්ඤය, රුසියාව, ක්‍රොඒෂියාව, ඩෙන්මාර්කය, බ‍්‍රසීලය, මෙක්සිකෝව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය යන කණ්ඩායම් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටියහ. 

♦ හර්ෂණ තුෂාර සිල්වා
සේයාරූ ඒ.එෆ්.පී / රොයිටර්