2018 ජුනි 09 වන සෙනසුරාදා

ක්‍රීඩා ඇමැතිගේ නිසි බලධාරියා හිටපු පාලනයේ රූකඩයක්!

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මෙම මස අග වනවිට අතුරු කමිටුවක් පත්කිරීමට සිදුවනු ඇතැයි ඇතැම් නීති විශාරදයෝ පවසති. ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට අදාළව අභියාචනා අධිකරණයේ නඩුව ලබන බ‍්‍රහස්පතින්දා නැවත විභාගයට ගැනීමට නියමිතය. නිලවරණය සම්බන්ධයෙන් අධිකරණය ලබන බ‍්‍රහස්පතින්දා ලබාදෙන නියෝගය මත අතුරු කමිටුවක් පත්කිරීම සහ නොකිරීම තීරණය වනු ඇති බවට බොහෝ දෙනා ඉඟි පළකරති.

අතුරු කමිටු පත්කිරීමට තමන්ට බලයක් නොමැති බවට ජනාධිපති නීතිඥයකු වන ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසුවද ක‍්‍රීඩා නීතිය පිළිබඳව දැනුමැත්තන් පවසන්නේ ඒ සඳහා ඕනෑතරම් නීති ප‍්‍රතිපාදන ඇති බවයි.  “මම ක‍්‍රීඩාව ගැන මුකුත් දන්නේ නෑ. නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්නේ” යැයි පැවසීම නිදහසට කරුණක් නොවේ.
ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක‍්‍රීඩාවට එක නීතියකුත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට එක නීතියකුත් තිබිය නොහැක. දයාසිරි ජයසේකර ක‍්‍රීඩා ඇමැතිවරයාට එක නීතියකුත් ෆයිසර් මුස්තාපා ක‍්‍රීඩා අමාත්‍යවරයාට එක නීතියකුත් තිබිය නොහැක. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය සඳහා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතා නිසි බලධාරියා ලෙස පසුගිය සතියේ පත්කරන ලදී. අතුරු කමිටුවක් පත්කිරීමකින් තොරව ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කිරීම පිළිබඳව ඇතැම්හු ක‍්‍රීඩා අමාත්‍යවරයාට චෝදනා කරති.

පරිපාලනය වෙනස්වීමෙන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පසුගිය සතියේ පත්වීම් තුනක් කරන ලදී. පිරිමි සහ කාන්තා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු පත්කිරීම සහ වයස 19 න් පහළ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා පත්කිරීම එම පත්කිරීම තුන වේ. මෙම පත්කිරීම් තුනම තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් පසුගිය පාලනය තුළ ගෙන තිබූ තීරණ බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ හේතුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතා නිසි බලධාරීයා ලෙස පත්ව පසුගිය පාලනයේ කටයුතු ඉදිරියට ගෙන යන බවට චෝදනා එල්ල වේ. 

ක‍්‍රිකට් ක‍්‍රීඩාව, ක‍්‍රිකට් පරිපාලනය සහ පසුගිය ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව අවබෝධයක් ඇති පිරිසක් මේ අවස්ථාවේදී පත්කළ යුතු බවට බොහෝ දෙනා පවසති. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හිටපු ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් උපදෙස් ලබාගන්නා බව පසුගිය සතියේ ප‍්‍රසිද්ධියේ පවසා තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ද වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ගන්නේ නම් කිවහැක්කේ “අම්මා නැති කළේ අප්පා කවර කළේ” යැයි පමණි.

දයාසිරි ජයසේකර මහතා අමාත්‍ය ධූරයේ සිටියදී ක‍්‍රිකට් පාලකයන් හැසිරුණු ආකාරය දන්නෝ දනිති. නිසි බලධාරියා ඉදිරියෙන් තබාගෙන හිටපු පාලකයන් තිරය පිටුපස රඟන්නේ දැයි සැක මතුවී තිබේ.

විශේෂ ලියුම්කරුවකු විසිනි

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00