2018 මාර්තු 03 වන සෙනසුරාදා

ඊළඟ ඇරඹුව නිදහස් කුසලාන

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 202

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව වෙනුවෙන් සංවිධානය කරන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලට පීඩනය තවදුරටත් මෑත්කර ගැනීමට අවස්ථාවක් බවට පත්ව තිබේ. මෙම තරගාවලියට සහභාගි වන ප‍්‍රබලම කණ්ඩායම වන ඉන්දියාව සිය ප‍්‍රබල ක‍්‍රීඩකයන් සහභාගි නොකිරිමත් සමඟ තරගාවලිය පහසුකර ගැනීමේ අවස්ථාව සත්කාර ශ‍්‍රී ලංකා පිලට හිමිව තිබේ. 

මෙම තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතයට ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන නායක විරාට් කෝලි සහ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඇතුළත්ව නැත. තවද වේගපන්දු යවන්නන් වන බුවනේෂ්වර් කුමාර්, ජස්ප‍්‍රිට් බුම්රා, තුන් ඉරියව් ක‍්‍රීඩක හර්ද්‍රික් පාණ්ඩ්‍යා යන ප‍්‍රබල ක‍්‍රීඩකයෝද විවේක සුව විඳිති. දඟපන්දු යවන කුල්දීප් යාදේව් ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගාවලිය අහිමිවිය. 

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් නවකයන් රැසක් සමගින් ඉන්දීය පිල සංචාරයට සහභාගි වී සිටීමෙන් වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව උත්සුක විය යුතුය. රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් ඉන්දියාවේදී සහභාගි වූ තරගාවලියේදී ශ‍්‍රී ලංකාව 3x0 කින් පරාජය විය. කෙසේ වෙතත් එම කණ්ඩායමට වඩා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින කණ්ඩායමේ නවකයන් වැඩි බව පැවසේ.

බංග්ලාදේශ පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වන නායක ශකීබ් අල් හසන් ආබාධය සම්පූර්ණයෙන් සුව වී නොමැති වුවද සංචිතය සමඟ සංචාරයට සහභාගි වී සිටියි. ශකීබ් වඩාත් වැදගත් තරගයකට හෝ දෙකකට සහභාගිවීමට සූදානමින් සිටියි. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන මෙම තරගාවලිය ලබන 6 වැනිදා ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.

මෙම තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව 20 දෙනකුගෙන් යුත් සංචිතයක් පසුගිය අඟහරුවාදා නම් කළේය. එම සංචිතයට බංග්ලාදේශ විස්සයි20 තරගාවලියට සහභාගි නොවූ ප‍්‍රවේගකාරි පිතිකරු කුසල් පෙරේරා මෙන්ම වේගපන්දු යවන්නන් වන සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප් සහ දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටියහ. නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියට සහභාගි වීමට සූදානම්ව සිටියද ඔහු තවදුරටත් විවේකීව තැබීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මැතිව්ස් ආබාධය සුවවූ වහාම නැවතත් ක‍්‍රීඩා කිරීමෙන් ආබාධය නැවත මතුවන බව වෛද්‍යවරු පැවසීම හේතුවෙන් වැඩි කාලයක් විවේක ගැනීමට උපදෙස් ලැබී තිබේ. බංග්ලාදේශයේදී ආබාධයන්ට ලක්වූ අසේල ගුණරත්න සහ ෂෙහාන් මධුසංඛ තවමත් සුවය ලබා නොමැති වීම නිසා මෙම තරගාවලිය එම දෙපළට අහිමි විය.

විස්සයි20 කණ්ඩායමෙන්ද ඉවත විසිවී සිටින ලසිත් මාලිංග පසුගිය සතියේ නැවතත් අන්තර් සමාජ පිටියට පිවිසුණේය. මාලිංග අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි20 තරගාවලියේ පැවැති තරගවලදී එන්.සී.සී. පිල නියෝජනය කළේය. කෙසේ වෙතත් මාලිංග එම තරගවලදී නැවතත් සංචිතයට කැඳවීමට තරමේ කැපී පෙනෙන දස්කම් නොදැක්වීය. මාලිංගට මෙම තරගාවලියේද තරගයක් හිමි නොවන තත්ත්වයක් පසුගිය සතිය අවසන් වනවිටත් ප‍්‍රදර්ශනය වෙමින් තිබුණි.   

♦ සටහන: යොහාන් භාසුර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00