2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

පීඩනය මැද සටන

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 149

බංග්ලාදේශ පිලට එරෙහිව චිතගොන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන් වුවද ඩකාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ පසුගිය සිකුරාදා තේ විවේකය සඳහා තරග නතර කරන විට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම නතුකර ගැනීමට සමත්ව සිටියහ.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ සීමිත ඕවර තරගවලදී දැඩිව අසාර්ථක වුවද ටෙස්ට් තරගවලදී සැළකියුතු දස්කම් දැක්වීය. ශ්‍රී ලංකාවට 1x0 කින් මෙම තරගාවලිය ජය ලැබීමට නම් මෙම තරගය ජය ලැබිය යුතුමය. එම ඉලක්කයට යෑමට නම් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් බංග්ලාදේශ පිතිකරුවන්ට පළමු තරගයට වඩා පීඩනයක් යොමුවිය යුතුය. ඒ සඳහා බංග්ලාදේශ පිතිකරුවන් නිදහසේ පහර කරා යෑම වැළැක්වීම අනිවාර්ය කාර්යයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා පිල දෙවැනි දිනයේදී බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 110 කට සීමා කරමින් පළමු ඉනිමේදී ලකුණු 112 ක වාසියක් ලබාගත්තේය. සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා සහ අකිල ධනංජය කඩුලු ලාභීහු බවට පත්වූහ.

දෙවැනි දිනයේ තේ විවේකය වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 7 ක් අතැතිව ලකුණු 199 ක් ඉදිරියෙන් සිටියේය. දෙවැනි දිනයේ තේ විවේකය වනවිට දෙපිලේම කඩුලු 23 ක් බිඳ වැටී තිබුණු අතර මෙයද අයි.සී.සී.යෙන් අවවාද ලැබීමට කරැණක් විය හැකිය. 

තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකාව පියවර කීපයක් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඒ වනවිට බංග්ලාදේශ ඉදිරිපෙළ පිතිකරුවන් සිවුදෙනකු ලකුණු 56 කට ක‍්‍රීඩාගාරයට හරවා යවා තිබුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 222 කට සීමාවීම දැඩි පාඩුවකි. ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 320 ක් හෝ 330 ක් රැස්කිරීමට සමත් වූයේ නම් බංග්ලාදේශයට මීට වඩා පීඩනයක් යොමු කිරීමේ අවස්ථාව තිබුණි.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ උප නායක සුරංග ලක්මාල්ට මෙය අමතක නොවන තරගයක් බවට පත්විය. ලක්මාල්, තමීම් ඉක්බාල් දවා ගනිමින් ටෙස්ට් කඩුලු සියය සම්පූර්ණ කිරීමට බ‍්‍රහස්පතින්දා පස්වරුවේ සමත් විය. සුරංග, ශ්‍රී ලංකාවේ ටෙස්ට් කඩුලු සියයක් දවාගත් හත්වැනි පන්දු යවන්නා මෙන්ම ටෙස්ට් කඩුලු සියයක් දවාගත් ශ්‍රී ලංකාවේ සිවුවැනි වේග පන්දු යවන්නා බවට පත්විය.

පළමු තරගයේදී බංග්ලාදේශ පිතිකරුවෝ රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන්ට කිසිදු චකිතයකින් තොරව පහර දුන්හ. බංග්ලාදේශ පිතිකරුවන් හතරේ පහර ඔස්සේ ලකුණු පුවරැව ක‍්‍රියාත්මක කිරීමේ දැඩි ක‍්‍රමවේදයක් අනුගමනය කළ ආකාරය දැකගත හැකි විය. එම පිතිහරඹයක් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඔවුන්ගේ පන්දු යැවීමේ සැලැස්ම වෙනස්කිරීමට සිදුවීමෙන් සාර්ථකත්වයට ළඟාවීමට නොහැකි විය.

බංග්ලාදේශ ටෙස්ට් පිලේ නායකයා මෙන්ම ප‍්‍රබලතම තුන් ඉරියව් ක‍්‍රිඩකයා වන ශකීබ් අල් හසන් තුන්කොන් තරගාවලියේදී ආබාධයකට ලක්ව ටෙස්ට් තරගාවලිය අහිමිවීම ශ්‍රී ලංකාවට වාසියක් බවට පත්ව තිබේ. 

චිතගොන් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වා ශතක රැස්කිරීම කැපී පෙනුණි. මේ අතරින් රොෂේන් සිල්වාගේ මංගල ටෙස්ට් ශතකය අනාගත ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලට මංගල සලකුණක් වීමට බොහෝදුරට ඉඩ තිබේ.

රොෂේන් යනු ශ්‍රී ලංකා දේශීය ක‍්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව ලකුණු අතර සිටියදී අවස්ථාව නොලැබීමෙන් ප‍්‍රයෝජනයක් නොගෙන වයස අවුරුදු 30ට ආසන්න වූ ක‍්‍රීඩකයෙකි. ශ්‍රී ලංකාවෙන් බිහිවූ තාක්‍ෂණයෙන් පිරිපුන් පිතිකරැවකු ලෙස පිළිගැනෙන මැදපෙළ පිතිකරු තිලාන් සමරවීර 2013 වසරේ ටෙස්ට් පිටියෙන් සමුගත් වහාම රොෂේන් එම ස්ථානයට කැඳවනු ඇති බවට බොහෝ දෙනකු විශ්වාස කළ ද එවැන්නක් සිදුවූයේ නැත.

එය එසේ සිදුවූයේ නම් මේ වනවිට රොෂේන් ටෙස්ට් තරග 30 කට අධික සංඛ්‍යාවකට ක‍්‍රීඩා කර පරිණත පිරිකරුවකු බවට පත්ව හමාරය. දැන් කිව හැක්කේ ගියදේ ගියාවේ ලෙස පමණි. රොෂේන් ඩකා ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී පන්දු 124 කින් රැස්කළ ලකුණු 56 ද මෙම තරගයේ තීරණාත්මක සාධකයක් වීමට බොහෝදුරට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 713 ක් රැස්කළ අතර එය ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී වසර හතරකට පසුව රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ. ශ්‍රී ලංකාව පිල 2014 වසරේ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 730 ක් රැස්කර තිබේ. එම ඉනිමෙන් පසුව අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පැවසුවේ පීඩනයක් තිබුණ ද තමන් ව්‍යාජ සිනාවකින් යුතුව පන්දුවට පහර දුන් බවයි. 

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන රංගන හේරත්ගෙන් බලාපොරොත්තු වූ පීඩනයක් බංග්ලාදේශ පිතිකරුවන්ට යොමුවූයේ නැත. එවැනි පීඩනයක් යොමු වූයේ නම් බංග්ලාදේශ පිතිකරුවන්ට වාර්තා පොත අලුත් කිරීමේ අවස්ථාව හිමි නොවේ.

දකුණතින් වේග පන්දු යවන ළහිරු කුමාර මෙම තරගයේදී කිසිදු ප‍්‍රයෝජනයක් නොවූ ක‍්‍රීඩකයකු බවට පත්විය. ළහිරු ඉනිම දෙකේදීම කඩුලු ලබා ගැනීමට අපොහොසත් විය. ළහිරු කුමාරගේ ස්ථානයට මෙම තරගයේදී අකිල ධනංජය කැඳවා තිබූ අතර ලක්‍ෂාන් සඳකැන්ගේ ස්ථානය ධනුෂ්ක ගුණතිලකට ලබා දුන්නේය.   

බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී මොමිනුල් හල් සහ ලිටන් දාස් සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 180 ක සම්බන්ධතාව ශ්‍රී ලංකාවෙන් ජයග‍්‍රහණය මෑත් කළේය. එහිදී මොමිනුල් සහ දාස්  ඕවර 50.3 ක් තුළ කඩුලු රැකගනීම තරගයේ ප‍්‍රතිඵලයට තීරණාත්මක සාධයක බවට පත්විය. මොමිනුල් හල් පළමු ඉනිමේදී ලකුණු 176 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 105 ක් රැස්කරමින් වසර 18 ක බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ තරගයක ඉනිම දෙකේදී ශතක දෙකක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා ලෙස ඉතිහාසයට එකතු විය.

චිතගොන් තණතීරුව ප‍්‍රමිතියෙන් තොර බවට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව අවවාද කර තිබූ අතර එම ක‍්‍රීඩාංගණයට දඬුවම් ලකුණක් ද ලබාදී තිබුණි. මෙම තත්ත්වය හමුවේ එම ක‍්‍රීඩාංගණය තහනමට ලක්වීමේ අවදානමකට ද පත්ව තිබේ. 
බංග්ලාදේශය පිල බංග්ලාදේශයේදී වඩාත් ශක්තිමත් බව පළමු ටෙස්ට් තරගයේදී මනාව ප‍්‍රදර්ශනය කළේය. ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියද සාර්ථකව අවසන් කිරීමට නම් පීඩනය දැඩි කළ යුතුමය. 

♦ සටහන: යොහාන් භාසුර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00