2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

අයි. පී. එල්. ලංකාවට කචල්

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 280

“මට මෙහෙ වැඩක් නෑ. අයියා දන්නවනේ මට ඉන්දියාවේදී ලැබෙන ඒවා. හවසට එකක් මදිනම් දෙක තුනක් වුණත් දෙනවා. මට එහෙ එහෙමයි.”

මෙය වසර පහකට හෝ හයකට පෙර ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ ව්‍යායාම මධ්‍යස්ථානයේදී එවකට ප‍්‍රබල ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු කළේ යැයි කියන ප‍්‍රකාශයකි. අදාළ ක‍්‍රීඩකයාගේ හැසිරීම අනුව එම ප‍්‍රකාශය කළේ යැයි විශ්වාස කළ හැකිය. මෙම ක‍්‍රීඩකයා ඉන්දියාව ලෙස එහිදී හැඳින්වූයේ අයි.පී.එල්. තරගාවලිය වන අතර තරු සමයේ අදාළ ක‍්‍රීඩකයා ජාතික කණ්ඩායමට වඩා අයි.පී.එල්. තරගාවලියට ඇළුම් කළේය.

මෙම වසරේ අයි.පී.එල්. තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසිය පසුගිය පැවැති අතර එහිදී අදාළ ක‍්‍රීඩකයා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. දස්කම් නැතිනම් ක‍්‍රිකට් මුදලාලිලාට ක‍්‍රීඩකයන්ගෙන් පළක් නැත. එයට හේතුව පෙර දැක්වූ දස්කම්වලට මුදල් ගෙවා අවසන් වීමය.

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල්ට මුහුණ දීමට සිදුවූයේද අදාළ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයාට අත්වූ ඉරණමටම සමාන තත්ත්වයකටය. කෝටි 10කට ආසන්න වටිනාමක සිටි ක‍්‍රිස් ගේල්ට කෝටි දෙකක් හිමිවූයේද තෙවැනි වර වෙන්දේසියට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අදාළ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයාට අයි.පී.එල්. තරගාවලිය අහිමිවීමෙන් පසුව ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීම පිළිබඳව කණගාටුවන බව පවසා ඇතැයි දැනගන්නට තිබේ. “රජකම් කළත් කළකම් පළදෙනවා”යැයි ශ්‍රී ලංකා ජනවහරයේ සුප‍්‍රසිද්ධ කියමන මෙහිදී මතකයට නැඟේ.

මෙවර ක‍්‍රීඩක වෙන්දේසියේදී ඇෆ්ගනිස්තාන් සහ නේපාල ක‍්‍රීඩකයන්ද අලෙවි වෙද්දී වර්තමානයේ දස්කම් අතර නැති ප‍්‍රබලයන්ට අයි.පී.එල්. සිහිනය අතහැර දැමීමට සිදු විය. මෙහි බරපතළ තත්ත්වය මෙය නොව මෙම ක‍්‍රීඩකයන් මුදලට ශක්තිය වැයකර පෞද්ගලික ලීග් තරගාවලිවලට සහභාගි වී ආබාධයන්ට ලක්වීම නිසා ශ්‍රී ලංකාවට සේවය සැපයීමට තිබූ අවස්ථාවන් රැසක් අහිමිවීමය.

ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද සීමාවකින් තොරව ක‍්‍රීඩා කිරීමෙන් මේ වනවිට දිගටම ආබාධ ලැයිස්තුවට වැටී සිටියි. මැතිව්ස් අඛණ්ඩව අයි.පී.එල්. තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයකු වන අතර ඔහුගේ සේවය අවශ්‍යම අවස්ථාව වන වර්තමානයේ සේවය අහිමිවී තිබේ. මෙය ජාතික වස්තුවක් පිට රටකට විකිණීම බඳු තත්ත්වයකි. 
මෙවර අයි.පී.එල්. වෙන්දේසියට ඉදිරිපත් කළ ක‍්‍රීඩකයන් 578 ට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් 18 දෙනෙක් ඇතුළත්ව සිටියහ. ඒ අතරින් පිට දඟපන්දු යවන අකිල ධනංජය සහ වේගපන්දු යවන දුෂ්මන්ත චමීර ඉන්දීයන් රුපියල් ලක්‍ෂ 50 ට හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටියකට අධික මුදලකට අලෙවි වූහ.

ඒ අනුව අකිල ධනංජය, මුම්බායි ඉන්දියන්ස් පිලටද, දුෂ්මන්ත චමීර, රාජස්ථාන් රෝයල්ස් පිලටද, මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ක‍්‍රීඩා කිරීමට නියමිතය.

වෙන්දේසියට ඉදිරිපත් කළ සෙසු ක‍්‍රීඩකයන්ගෙන් තරුණ ක‍්‍රීඩකයන් අළෙවි නොවීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වාසනාවකි. එහි කිසිදු තර්කයක් නැත. මෙම ක‍්‍රීඩකයන් දෙපළ ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය බව අමතක නොකළ යුතුය. මෙම ක‍්‍රීඩකයන් දෙපළට සිදුවන්නේ හැකි උපරිමයෙන් පුහුණුවීම් සඳහා පන්දු යැවීමටය. 

මුම්බායි පිලේ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කටයුතු කරයි. අකිල ධනංජය, මහේල ජයවර්ධන ජාතික තලයට ගෙන ආ ක‍්‍රීඩකයෙක් වන අතර ඒ හේතුවෙන් අකිලට තරග කීපයකදී ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රිකට් සම්පත් රැකගැනීමට කටයුතු කළ යුතුය. ක‍්‍රීඩකයන්ට මෙවැනි තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාව අහිමි කළහොත් ඔවුන්ට අර්ථික අවාසියක් සිදුවීම වැළැක්විය නොහැක. 

සටහන: විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00