2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

කායවර්ධන සංගමයේ දෙන්නකුට යන්න වෙයි

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ හිටපු සභාපතිවරයකුට සහ ලෝක පදක්කම්ලාභී ක‍්‍රීඩකයකු යැයි කියන නිලධාරියකුට ක‍්‍රීඩා අමාත්‍යංශය තහනම් පැනවීමට සූදානම් වන බව වාර්තා වේ. එම නිලධාරීන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය පැවැත්වූ පරීක්‍ෂණයකින් පසුව මෙම තහනම පැනවෙන බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ නිලධාරීන් දෙපිරිසක් අතර වසර කීපයකට සිට අර්බුදයක් පවතින අතර ප‍්‍රතිවාදී පාර්ශවය කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්‍ෂණය කර තිබේ. අදාළ නිලධාරීන් දෙපළගේ පරිපාලන කාලය තුළ විශාල ලෙස පරිපාලන වැරදි සිදුවී ඇති බවට පරීක්‍ෂණයේදී පෙනී ගොස් ඇති බවත් ඒවායෙන් ඇතැම් වැරදි ඉතාමත් බරපතළ ඒවා බවත් දැනගන්නට තිබේ.

මෙහිදී හිටපු සභාපතිවරයා ඔහුගේ ඥාතියකු යැයි කියන පුද්ගලයකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර කායවර්ධන සංගමයේ තනතුරකට පත්කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබූ අතර මෙය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) යොමුකර තිබූ බවද කියති.

කායවර්ධන සංගමයේ මෙම දෙපිරිස අතර බල අරගලය හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ කායවර්ධන ක‍්‍රීඩාව අඩපණ වී ඇති බව කායවර්ධන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ පවසති. 

සටහන: විශේෂ වාර්තාකරුවකු විසිනි