2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

හේරත්ගේ විශිෂ්ට රංගනය

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

දිනේෂ් චන්දිමාල්, පාකිස්තානු සංචාරයට පිටත්ව යෑමට පෙර පැවසුවේ පරාජිත මානසිකත්වයෙන් ගොඩඒමට එක ජයග‍්‍රහණයක් ප‍්‍රමාණවත් බවයි. එම ඉලක්කය ඔහු පසුගිය සඳුදා සම්පූර්ණ කරගත්තේය. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලකයන්ට වගේම ක‍්‍රීඩා ලොක්කක්ටද මහත් අස්වැසිල්ලක් බවට පත්ව තිබුණි.

ශ්‍රී ලංකා පිලේ දැන් වගකීම බවට පත්වන්නේ ජයග‍්‍රාහි මානසිකත්වය දිගටම රැකගැනීමයි. ඩුබායිහිදී පසුගිය සිකුරාදා ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන් කිරීම ශ්‍රී ලංකාවට ප‍්‍රමාණවත්ය. මෙම තරගය දිවා රාත‍්‍රී තරගයක් වීම විශේෂයෙන් ශ්‍රී ලංකාවට අභියෝගයක් වී තිබෙන අතර එම තරගය විසඳුමකින් තොරව අවසන් කළහොත් ශ්‍රී ලංකාවට 1x0 කින් තරගාවලිය ජය ලැබීමේ අවස්ථාව උදාවේ.

ජයග‍්‍රහණයේ වැඩි ගෞරව රංගන හේරත්ට සහ ඩිල්රුවන් පෙරේරා හිමිවිය යුතුය. රංගනගේ විශිෂ්ට පන්දු යැවීම නොවන්නට කථාව වෙනස්වීමට ඉඩ තිබුණි. 

රංගන හේරත් මෙහිදී දෙවැනි ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 6ක් දවා ගනිමින් ටෙස්ට් කඩුලු 400 සම්පූර්ණ කළ ලොව පළමු වමත් දඟපන්දු යවන්නා බවට පත්විය. රංගන පළමු ඉනිමේදී දවාගත් කඩුලු පහත් සමගින් එම තරගයේදී කඩුලු 11 ක් දවාගත්තේය.  තිස්නව වැනි වියේ පසු වන රංගන, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 400 ක් දවාගත් දෙවැනි ක‍්‍රීඩකයා බවටද පත්විය. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 ක් දවා ගනිමින් රංගන හේරත්ට ඉදිරියෙන් සිටියි. 
පාකිස්තානු පිලට ලකුණු 136 ක් වැනි පහසු ඉලක්කයක් සම්පූර්ණ කිරීමට නොහැකි වේ යැයි කිසිවකු නොසිතන්නට ඇත. ලකුණු 36 කට කඩුලු 5 ක් බිඳවැටීමත් සමඟ වාසිය ශ්‍රී ලංකාව දෙසට කරකැවුණි. එම තරගයේ අවසන් දිනයේ දිවා විවේකය වනවිට තරගයේ සම්පූර්ණ වාසිය පාකිස්තානු පිල සතුව තිබුණි. පළමු ඉනිමේදී ලකුණු 419 ක් රැස් කළ ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමේදී ලකුණු 138 කට සීමා වීමෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්විය. දිනේෂ් චන්දිමාල් පළමු ඉනිමේදී නොදැවී රැස්කළ ලකුණු 155 ද මෙහිදී අමතක කළ නොහැක.

කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදී පිතිකරුවන් අසාර්ථක වූ අතර නිරෝෂන් දික්වැල්ල නොදැවී රැස්කළ ලකුණු 40 එහිදී වඩාත් වැදගත් විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කඩා වැටීමෙන් ප‍්‍රයෝජනය ගනිමින් සංචිතයට රිංග වූ ළහිරු තිරිමාන්න මෙම තරගයේ පළමු ඉනිමේදී ලකුණු නොලබාම සහ දෙවැනි ඉනිමේදී ලකුණු 7 කට දැවී යෑම කැපී පෙනුණි. තිරිමාන්න අංක තුන ස්ථානයේ ක‍්‍රීඩා කිරීමට සුදුසුද යන්න තීරණය කළ යුතුය. තිරිමාන්න වැනි ක‍්‍රීඩකයකුට අවස්ථාව දෙනවාට වඩා වඩාත් තරුණ ක‍්‍රීඩකයකු අවස්ථාව ලබාදීම වඩාත් ප‍්‍රයෝජනවත් වේ.

උඩින් පාත් වූ තිරිමාන්න උපනායකත්වයෙන් සැරසූ ග‍්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. තවද හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ තේරීම් කමිටුව අවධානය යොමු කළ යුත්තේ ක‍්‍රීඩකයන්ගේ වයස ගැන නොව ඔවුන්ගේ දස්කම් ගැනය. 

I සටහන: වරකාගොඩ ගමගේ