2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මේ මාගේ අන්තිම උත්සාහයයි - මහේල

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

කඩාවැටුණු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ගොඩගැනීමේ අවසන් උත්සාහයට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන මහේල ජයවර්ධන පසුගිය අඟහරුවාදා පළමු පියවර තැබීය. ක‍්‍රීඩා අමාත්‍යවරයා පත්කළ හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ ක‍්‍රිකට් උපදේශක කමිටුව එදින ක‍්‍රීඩා අමාත්‍යංශයේදී පළමුවරට හමුවිය. 

එම අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, හේමක අමරසූරිය, අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරු සහභාගි වූහ. මහේල ජයවර්ධන සාකච්ඡාවෙන් පසුව දැක්වූ අදහස් අනුව ඔහු තුළ මෙම කමිටුව පිළිබඳවද සැකයක් නැතැයි කිව නොහැක.

එහිදී මහේල මෙසේ පැවසීය.

“මේක මගේ නම් අවසාන උත්සාහය. මම කථාකරලා තමයි මේ ස්ථානයට ආවේ. ඇමතිතුමාට දැනුම් දීලයි. මොකද මට ලොකු කලකිරීමක් තියෙනවා. මම හිතනවා මේක මගේ අවසාන උත්සාහයයි.”

“අපි පාලක මණ්ඩලයේ කමිටුවක් නොවෙයි. ඒ සැළසුම් ක‍්‍රියාවට නංවන්න ඕනේ ඔවුන්. අපි හිතනවා ඒ විදියට වෙයි කියලා. එහෙම නොවුණොත් අපේ කාලය වැය කිරීමෙන් කිසිම පළක් වෙන එකක් නෑ. මම ගියවර අවුරුද්දක් වගේ කාලයක් ගත කළා. සැළැස්මක් ක‍්‍රියාත්මක වෙන්නේ නැත්නම් එපමණ කාලයක් වැය කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මාස තුනක් ඇතුළත සැළැස්මක ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුණොත් මග හැරලා යන්න වෙනවා.”

“එහෙම වුණොත් මම නම් පෞද්ගලිකව නැවතත් ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගැන අදහසක් දක්වන්න කැමති නෑ. අපිට පුළුවන් දේ තමයි මේ කරන්නේ. හැමදාම අඬගහන අඬගහන වෙලාවට ඇවිල්ලා පැලැස්තර අලවන එක නොවෙයි වෙන්න ඕනේ. මෙය කමිටුවේ සාකච්ඡාවක් නොවෙයි. අපි දැනගන්න ඕනේ ක‍්‍රීඩා අමාත්‍යවරයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. අපි ඉදිරියේදී කමිටුවක් හැටියට සාකච්ඡා කරනවා.”

“අපි පළමුවෙන්ම කෙටි කාලීන සැළැස්මක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කෙටි කාලීන සැළසුම් ස්ථාවර කිරීමට දිගුකාලීන සැළසුම් තියෙනවා. අපිව පත්කරලා තියෙන්නේ අදහස් විමසලා සැළසුමක් ගන්න නමුන් එය ක‍්‍රියාත්මක කිරීම ක‍්‍රීඩා අමාත්‍යංශයේ කාර්යයක්. අපි බලාපොරොත්තු වෙනවා එය ඒ විදියට වෙයි කියලා.”
මහේල ජයවර්ධනගේ අදහස් දැක්වීමට අනුව මෙය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කමිටුවක් නොවන බවත් ඒ හේතුවෙන් ඔහු ඊට සහභාගි වූ බවත් පැහැදිලි වේ.

මහේල ජයවර්ධන එහිදී පැවසුවේ තමන් ක‍්‍රීඩා ඇමතිවරයාට දුරකථනයෙන් සහ හමුවී දැනුවත් කර පැමිණි බවයි. එයින් පැහැදිලි වන්නේ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ආරාධනාව අහක දැමිය නොහැකි තත්ත්වයක් තුළ ඔහු මෙම කමිටුව නියෝජනය කළ බවයි.

එම අවස්ථාවට සහභාගි වූ කුමාර් සංගක්කාර පැවසුවේ ද මෙම කමිටුව ස්වාධීන එකක් බවයි.

“මෙය ස්වාධීන කමිටුවක්. මෙහි වඩාත් වැදගත් වෙන්නේ ඉදිරියට වෙන්නේ මොකද යන්නයි. මම හිතන්නේ හොඳ යෝජනා ටික අපි ක‍්‍රීඩා අමාත්‍යංශයට බාර දුන්නට පසුව හොඳ නම් ක‍්‍රියාත්මක වෙයි” සංගක්කාර පැවසීය.

මෙම හමුව අවසන් වීමෙන් පසුව මහේල, සංගක්කාර සහ අරවින්ද ක‍්‍රීඩා අමාත්‍යංශයේ රථගාල තුළ පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කිරීම කැපී පෙනුණි. 

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුව අවසානයේ පැවසුවේ මහේලගේ අවසන් අවස්ථාව අපතේ නොහරින බවයි. මෙහිදී මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට යෝජනා කරනවාට සැක නැත. ඒ සඳහා ක‍්‍රිකට් ලොක්කන් නම් කිසිදු කැමැත්තක් නොමැති බව විශ්වාසයෙන් කිය හැකිය. එය එසේ වුවහොත් එය මෙම කමිටුවේ අවසානයද විය හැකිය.

මෙම කමිටුවද ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් පත්කරන සෙසු කමිටු මෙන්ම වාර්තාවලට සීමා වන එක්ක වේද යන්න බලා සිටීම පමණක් ක‍්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කළ හැකිය.

I සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00