2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ජර්මන් ටෙක් අධිපතිගේ කැත වැඩේ

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 325

ජර්මන් ටෙක් නමින් ප්‍රසිද්ධ මොරටුව ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා විසින් එහි සිසුවෙකුට ලිංගික අපචාරයක් සිදුකරන අයුරු දැක්වෙන වීඩීයෝවක් සමාජජාල වෙබ් අඩවි තුළින් ප්‍රසිද්ධ කිරීමත් සමඟ ඔහුට එම ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුව තිබේ. එම සැකකාර විදුහල්පතිවරයා කාර්මික විදුහලේ සිසුන්ට ලිංගිකව හිරිහැර සිදුකරන බව විද්‍යාලයේ ප්‍රසිද්ධ රහසක්ව පැවතියද එවැන්නක් සම්බන්ධ වීඩීයෝ පටයක් ප්‍රසිද්ධ කොට තිබුණේ පළමු වතාවටය. 

මැදිවියේ පසු වූ විදුහල්පතිවරයා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බොහෝ දරුවන්ගේ පියාගේ වයසත් ඉක්මවූ තරම්ය. මොහු කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ තරුණ පිරිමි දරුවන්ගේ විභාග ප්‍රතිඵලය බිල්ලට තබා විදුහල්පතිවරයාගේ නිලකාමරයේදීත් ඉන් පිටතදීත් දරැවන් හා සමලිංගිකව හැසිරෙන බව චෝදනා නැගුණේ කාලයක සිටය. කතාව ප්‍රසිද්ධ වුවත් බලධරයින් හෝ නීතිය ඉදිරියේ එය ඔප්පු කිරීමට තරම් සාක්ෂියක් නොවීය.

විදුහල්පතිවරයාගේ අදහසට එකඟ වී ඔහුගේ ලිංගික අපචාර ක්‍රියාවන්ට සහාය දක්වන දරුවන්ට කාර්මික විද්‍යාලයේ පහසුකම්වලින් අඩුවක් නැත. ඔවුන්ට අවසන් විභාගයෙන් සමත් වීමේ හා ඉහළ ප්‍රතිඵල ලබාගැනීමේ ගැටලු නැතැයි පැවසේ. එපමණක් නොව ජර්මනිය ඇතුළු කාර්මික රටවල කාර්මික අංශයේ රැකියා අවස්ථාවලට විද්‍යාලය හරහා ඉල්ලුම් කිරීමේදී ප්‍රමුඛස්ථානය ලැබෙන්නේද ඔවුන්ටය. ඔහුට එකඟ නොවන දරුවන් නිරන්තරයෙන් අසරණ වු බවත් යම් පමණක සිසුන් පිරිසක් කාර්මික විද්‍යාලය හැරගොස් ඇති බවත් හෙළි වී ඇත. කාර්මික අධ්‍යාපනය හදාරන්නට ආ ඇතැම් සිසුන්ට සිය අරමුණ ඉටුවන්නේ නම් වෙනත් යමක් අදාළ නොවන තරමේ අයද සිටිති. ඔවුනට විදුහල්පතිගේ අපචාර හෝ පහත් ආශාවන් පිළිබඳ ගැටුමක් නොවීය. ඔවුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විදුහල්පතිවරයාගේ පහත් කාම ආශාවන් ඉටු කරදෙන්නට පැහැදී සිට ඇත. එවැනි අනුගාමිකයන් වූ සුළු සිසු පිරිස්ද විද්‍යාලයේ ගැවසීමෙන් විදුහල්පතිවරයාට එරෙහිව ක්‍රියාකිරීමට සෙසු සිසුනට බාධාවක් වී ඇත. 

විදුහල්පතිවරයාගේ පහත් ලිංගික ආශාවන් සන්තර්පණය කරන්නට ඉදිරිපත් නොවූ සිසුන් ඔහුගේ පෞද්ගලික තරහකරුවන් තරමට අනුමාන කරමින් පිළිගන්නා තත්ත්වයක් විද්‍යාලය තුළ උද්ගතව තිබු බව කියති. මේ ආකාරයට (මෙකට්‍රොනික්ස්) යාන්ත්‍රික ඉංජිනේරු ශිල්ප පාඨමාලාව හදාරමින් සිටි ඇතැම් සිසුන්ගේ අවසන් විභාග පරීක්ෂණය අසමත් කරන තරමට විදුහල්පතිවරයා කෘර වී තිබේ. කාර්මික අභ්‍යාස ආයතනයේ වසර තුනහමාරකට අධික කාලයක් මෙකට්‍රොනික්ස් පාඨමාලාව හදාරමින් සිටි සිසුවෙකුට විදුහල්පතිවරයා බැල්ම යොමාගෙන සිට ඇත්තේ කාලයක සිටය. අනන්ත වාරයක් විදුහල්පතිවරයාගේ යෝජනා ප්‍රතික්ෂේප කළද දිගින් දිගටම සිසුවා සිය අදහසට නම්මා ගන්නට මොහු උත්සාහ දරා ඇත. සිය අදහස ඉටු නොවූ තැන විදුහල්පතිවරයා උපායක් ලෙස කර තිබුණේ සිසුවාගේ අවසන් පරීක්ෂණයේ විෂයයන් දෙකක් අත්තනෝමතික ලෙස අසමත් කිරීමය. නමුත් සිසුවා තරයේ විශ්වාස කර තිබුණේ තමාගේ ප්‍රතිඵලය ඉතා සාර්ථක එකක් විය යුතු බවය. එහිදී ක්‍රියාත්මක වූ සිසුවා විද්‍යාලයේ අංශභාර ප්‍රධානි හමු වී සිය අදහස දන්වා තිබේ. එවිට ඔහු දරුවාට පවසා ඇත්තේ විදුහල්පති ඔයාට කැමතියි. ඔහු සමඟ සමීපව කටයුතු කරන්න යනුවෙනි. තවදුරටත් ඔහු දන්වා ඇත්තේ ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසය. 

මෙහිදී දරුවාට විදුහල්පතිවරයා හමුවට යාමට සිදුව ඇත. එම අවස්ථාවේ විදුහල්පතිවරයා උත්සාහ කොට ඇත්තේ දරුවා සිය අදහසට නම්වා ගන්නටය. මේ සිදුවීමට මුහුණ දී තිබුණේ කොළඹ ප්‍රදේශයේම පදිංචි යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පයේ දක්ෂ සිසුවෙකි. 

මෙම දරුවා පසුගිය ජුනි 27 වැනිදා සවස විදුහල්පතිවරයා හමුවට ගොස් තිබුණි. එහිදී විදුහල්පතිවරයාගේ අතිශය පෞද්ගලික තොරතුරු දරුවා සමඟ පවසා ඇතැයි කියති. ඒ අතර මීට පෙර තමා සමඟ සමීපව කටයුතු කළේ නම් විභාගය අසමත් නොවන බවද දන්වා ඇත. මෙහිදි විදුහල්පතිවරයා හෙළිකර ඇත්තේ සිසුවාගේ සම කණ්ඩායමේ ඇතැම් සිසුන්ට ඉහළ ප්‍රතිඵල ලබාදුන් බවත්ය. ඒ අනුව නම් කීපයක්ද පවසා තිබුණේ ඔවුන් විදුහල්පතිවරයා සමග සමීප සබඳතා පැවැත්වූවන් බව කියමිනි. ඒ අතරතුර සිසුවාගේ අභියාචනා ලිපිය බාරගත් බවද ඉන් පිටවන්නට මත්තෙන් විදුහල්පතිවරයා දරුවාගේ කරවටා අත දැමූ බවද පොලිස් පැමිණිල්ලේ සඳහන් කර ඇත. මෙහිදී විදුහල්පති විසින් දරුවා බලහත්කාරයෙන් සිපගෙන ඇති අතර අනතුරුව දින ගණනාවක් රාත්‍රි කාලයේදී දරුවාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා දෙමින් පිට ස්ථානයකදී හමුවන ලෙස දන්වා ඇතැයි කියති. 

මෙසේ සති කීපයක් ගතවුවද සිසු දරුවාගේ අරමුණ ඉටු වී නැත. මේ නිසා උගත් සිසුවා කාරණය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරන්නට ක්‍රියා කළේය. මේ අතර පසුගිය ජූලි 20 වැනිදා විදුහල්පති හමුවන්නට ගිය සිසුවා තීරණය කර තිබුණේ විදුහල්පතිවරයාගේ අසම්මත ක්‍රියාව වීඩීයෝ තාක්ෂණයෙන් රහසිගතව පටිගත කරගැනීමටය. විදුහල්පතිවරයා සමඟ සාකච්ඡාවකින් පසුව පිටවීමට සූදානම් වූ අවස්ථාවේ විදුහල්පතිවරයා නිල කාමරයේදොර වසා ඇත්තේ ඇතුළින් අගුළු දමමිනි. අනතුරුව ඔහු විසින් දරුවාට අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකමක් සිදුකර ඇත. සූක්ෂමව ක්‍රියාත්මක වූ සිසුවා එය හැකි පමණින් වීඩීයෝ ගත කරගෙන තිබුණි. පසුව එම දර්ශනය රැගෙන ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ තරුණයා කරුණු සියල්ල හෙළි කළේය. පසුව සිදුවීම මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. ඒ ඉකුත් ජූලි 25 වැනිදාය. එහිදී විදුහල්පතිවරයාට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් හා රුපියල් 50000ක මුදල් ඇපයක් මත මුදා හැර තිබුණි. එහෙත් නිපුණතා සංවර්ධන අමාත්‍යංශය ඒ වනතෙක් පියවර නොගැනීම හේතුවෙන් විදුහල්පතිවරයා පසුදිනත් සේවයට වාර්තාකර සිටියේය.

අදාළ වීඩියෝ දර්ශනය සමාජ ජාල වෙබ් අඩවි තුළට මුදාහැර තිබුණේ ඉන් අනතුරුවය. එම සාක්ෂියේ ප්‍රබලත්වය නිසා වහා පරීක්ෂණයක් අරඹන බව අමාත්‍යංශය කියා තිබුණි. පසුගිය 5 වැනිදා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා ඉල්ලා අස්වූයේ ඒ අනුවය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00