2017 ජුලි 15 වන සෙනසුරාදා

වැරදි හදා නොගත්තොත් ඉන්දියාවෙනුත් පරිප්පු

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

ඉන්දියාවට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකාවට ‘කොරේ පිටට මරේ’ සංචාරයක් නොකරගත යුතුව තිබේ. සිම්බාබ්වේ හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාවට ඉන්දියාව පරාජය කළ හැකිද යන ප‍්‍රශ්නය මෙහිදී මතුවේ. මෙම තරගාවලියට ටෙස්ට් තරග තුනක්, එක්දින තරග 5 ක් සහ විස්සයි20 තරගයක් ඇතුළත් වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ පවතින ව්‍යාකූල තත්ත්වය මෙම තරගාවලියට බලපානු ඇති බවට බොහෝ දෙනෙක් පවසති. 

සිම්බාබ්වේ පිලට එරෙහිව පසුගිය සිකුරාදා ආරම්භ වූ ටෙස්ට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා පිලට වේගපන්දු යවන නුවන් ප‍්‍රදීප් ඇතුළත්ව සිටියේ නැත. සුරංග ලක්මාල් ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් තිබුණි. වේගපන්දු යවන්නන් වන විශ්ව ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර අත්දැකීම් අඩු ක‍්‍රීඩකයන් වන අතර දුෂ්මන්ත චමීර ආබාධයෙන් පසුව සුපුරුදු රිද්මයට පැමිණ නැති බව එක්දින තරගාවලියේදී දැකගත හැකිවිය. 

ශ්‍රී ලංකාවට ඉන්දීය තරගාවලියේදී ද දඟපන්දු යවන්නන් වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා පෙරමුණේ තබාගෙන යෑමට සිදුවන බව අමුතුවෙන් කිවයුතු නැත. සිම්බාබ්වේ ටෙස්ට් තරගයට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබූ අතර කෞෂාල් සිල්වාට ස්ථානය අහිමිවී තිබුණි. සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරගය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පමණක් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය පිළිබඳව අනාවැකි පළ කළ නොහැක. 

 සටහන: යොහාන් භාසුර