2017 මැයි 13 වන සෙනසුරාදා

ඇමැතිගේ රතු ඉර හබක්: ක්‍රීඩා සංගම් නිලවරණ කල්යයි!

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ඉදිරි නිලවරණයට ඉදිරිපත්ව සිටින එහි හිටපු සභාපතිවරයකු වන විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා වැළැක්වීමට ඇතැමුන් දේශපාලඥයන් පිටුපස කැරකැවෙන බව දැනගන්නට තිබේ. පාලිත ප‍්‍රනාන්දු මහතා පසුගිය රජයේ ප‍්‍රබලයකුව සිටි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කිට්ටුවන්තයකු මෙන්ම ආරක්‍ෂක සේවා ආයතනයක ප‍්‍රධාන තනතුරක්ද දැරීය.

එම ආරක්‍ෂක සේවා සම්බන්ධයෙන් ඇති වූ සිද්ධීන් කීපයක් හේතුවෙන් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අධිකරණය නඩු විභාගයක් පැවැත්වේ. එම අධිකරණ ක‍්‍රියාමාර්ග සහ පසුගිය රජයේ සම්බන්ධකම් ඉදිරියට දමා ප‍්‍රනාන්දු මහතාට මෙවර නිලවරණයේදී තරග කිරීමේ අවස්ථාව අහිමිකිරීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වෙමින් තිබේ.

මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය මේ මස 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන අතර එම නිලවරණය පස්සට තල්ලු කිරීමේ සූදානමක් ද පවතින බව වාර්තා වේ. ඒ සඳහා සමහරු පොටක් පාදාගෙන සිටින බවද කියති. 

මෙම මස 20 වැනිදා සිට දින තුනක් බැංකොක් නුවරදී දෙවැනි ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා තරගාවලිය පැවැත්වෙන අතර ඊට සමගාමීව ජාත්‍යන්තර මළල ක‍්‍රීඩා සමුළුවක් ද පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය පෙරමුණට දමා නිලවරණය කල්දැමිය යුතු යැයි ඇතමුන් පවසන බව කථා බහට ලක්ව තිබේ.

සියලුම ක‍්‍රීඩා සංගම්වල නිලවරණ මේ මස 31 වැනිදාට පෙර පැවැත්විය යුතු බවට ක‍්‍රීඩා අමාත්‍යවරයා නිර්දේශ කර තිබුණ ද බොහෝ නිලවරණ කල්දැමීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයට පමණක් ලබන ජූලි මස 01 වැනිදා ලබාදී තිබේ.  පාපන්දු සංගමයේ විධායක කමිටුව වාහාම රැස්කරන ලෙස එහි විධායක කමිටු සාමාජිකයන් විසින් පසුගිය බදාදා වත්මන් සභාපතිවරයාගෙන් සහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි. මෙම තත්ත්වය හමුවේ පාපන්දු නිලවරණය තව තවත් උණුසුම් වනු ඇතැයි පාපන්දු ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙක් පවසති. 

අදාළ සංගම්වලට විගණනය කළ පසුගිය වසරේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකිවීම එයට ප‍්‍රධාන හේතුව බවට පත්ව තිබේ. 

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලන නිලවරණයද මූල්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම නිසා කල්දැමීමට සිදුව තිබේ.
නිලවරණවලට ඉදිරිපත් වන ඇතැම් පාර්ශව පසුගිය සතිය පුරා ක‍්‍රීඩා අමාත්‍යංශයට බඩගෑ බව දැනගන්නට තිබේ. එහිදී එම නිලධාරීන් සුදුසුකම් පිළිබඳ ප‍්‍රශ්න, ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම් පිළිබඳ ප‍්‍රශ්න ආදිය පිළිබඳව දැනුම්වත් කළ බව වාර්තා වේ.

ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් නිලධාරී මණ්ඩලය අවලංගු කර නැවත නිලවරණය කැඳවූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පාර්ශව කීපයක් ද පසුගිය සතියේ අමාත්‍යවරයා මුණ ගැසුණු බව වාර්තා වේ. එහිදී එක පාර්ශවයක් සෙසු පාර්ශවල සුදුසුකම් නොමැති පුද්ගලයකු නාමයෝජනා ඉදිරිපත්කර ඇති බවට පැමිණිලි කළ බව ද දැනගන්නට තිබේ.

පාපන්දු නිලවරණයට ඉදිරිපත්වන රංජිත් රුද්‍රිගු සහ අනුර ද සිල්වා යන පාර්ශව දෙකම අමාත්‍යවරයා මුණගැසී ඇති බව වාර්තා වේ. එහිදී රුද්‍රිගු මහතා නිලවරණයට අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් තිබේද යන ප‍්‍රශ්නය යොමුකර ඇති බව ද වාර්තා වේ. 

පාපන්දු නිලවරණයට තමන්ගේ කිසිදු අනවශ්‍ය මැදිහත්වීමක් නොමැති බව අමාත්‍යවරයා පවසා ඇතැයි ද දැනගන්නට තිබේ. 

♦ සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00