2017 මැයි 13 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පිල සූදානම්!

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

එංගලන්තයේදී ලබන ජූනි මස පැවැත්වෙන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පසුගිය අඟහරුවාදා (09) ආගම් බේදයකින් තොරව දළදා මාලිගාවට ගොස් ආශීර්වාද ලබාගෙන පල්ලෙකැලේ පැවැත්වෙන විශේෂ පුහුණු සැසිය ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පිල ඊට පසු දින එනම් වෙසක් පොහොය දින පස්වරුවේ පුහුණු සැසියකට සහභාගි වූ අතර එම පුහුණු සැසියට ලසිත් මාලිංග හැර සෙසු සියලුම ක‍්‍රීඩකයෝ සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා පිලේ සියලුම ක‍්‍රීඩකයන් එම පුහුණු සැසිය වන විට හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වූ බව කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. 

ශ්‍රී ලංකා සංචිතය එහිදී පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ ස්ථාපිත කළ නවීන තාක්‍ෂණයෙන් යුත් ගෘහස්ථ පුහුණු සැසිය ආරම්භ කළේය. පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දින හයක පුහුණු සැසිය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා සංචිතය අද (14) පස්වරුවේ නැවත කොළඹට පැමිණීමට නියමිතය. 

එංගලන්තයේ ශීත දේශගුණ තත්ත්වයට හුරුවීම සඳහා මෙම විශේෂ පුහුණු සැසියම යොදාගත් අතර මහනුවරට මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් පුහුණුවට බාධා පැමිණ තිබේ. 

ශ්‍රී ලංකා පිල ලබන බදාදා එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් සහ නිලධාරීන් දළදා මාලිගාවට පැමිණි අවස්ථාව ඔවුන්ගේ ඇඳුමත් සමඟ තරමක විශේෂ අවස්ථාවක් බවට පත්විය. එහිදී සියලුම ක‍්‍රීඩකයෝ සහ නිලධාරීහු සුදු ඇඳුමින් සැරසී සිටියහ. ශ්‍රී ලංකා පිලේ සේවය කරන විදේශිකයන්ද සුදු ඇදුමින් සැරසී සිටිම මෙහිදී කැපී පෙනුණි.   

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් එම නවීන ගෘහස්ථ ක‍්‍රීඩාංගණය සහ පුහුණු තණතීරු පසුගිය අඟහරුවාදා පස්වරුවේ විවෘත විය. 
එය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ නවීනතම පහසුකම්වලින් සමන්විත ක‍්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය වන අතර ශ්‍රී ලංකාවේ සෙසු ක‍්‍රීඩාංගණ තුනක ද මෙවැනිම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් සිටියි.

මෙම පුහුණු මධ්‍යස්ථානය ප‍්‍රමිතිය පිළිබඳව මේ වන විට විවේචන එල්ල වෙමින් තිබේ. එහි වහලය දක්වා උස ප‍්‍රමිතියට නොමැති බවට ඇතැමුන් ප‍්‍රකාශ කර තිබුණි. තවද සිදත් වෙත්තමුණි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් අතුරු කමිටුව ආරම්භ කළ මෙම ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානය සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදලට වඩා මුදලක් වැයකර ඇති බවට ද ආරංචි මාර්ග සඳහන් කරයි. 

♦ සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00