2020 මාර්තු 14 වන සෙනසුරාදා

අධ්‍යාපන ලොක්කෙක්ගෙන් පාසල් ක්‍රීඩා සභාපතිකමට ගැටයක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 232

ගැට කපන්නන්ගෙන් මෙන්ම ‘ගැට ගසන්නන්ගෙන්ද පරිස්සම් විය යුතු යැයි කථාවක් තිබේ. ශ්‍රී ලංකා පාසල් ක‍්‍රීඩාවද මේ වනවිට ‘ගැට ගසන්නන්ට නතු වී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් තනතුරක් දරන ‘ගැට ගැසීමට ප‍්‍රසිද්ධියක් උසුලන නිලධාරියකු ප‍්‍රමුඛ කණ්ඩායමක් නව චක‍්‍රලේඛයක් ඔස්සේ පාසල් ක‍්‍රීඩා සංගම්වල සභාපති ධූරයට ‘ගැටයක් ගසා තිබේ.

පාසල් ක‍්‍රීඩා සංගම්වල කිසිදු තනතුරකට මීට පෙර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය හෝ ශ්‍රී ලංකා විදුහල්පති සේවය ලෙස සීමාවන් නොතිබුණි. නමුත් අධ්‍යාපන අමාත්‍යංශය මේ වසරේ ජනවාරි මස සිට ක‍්‍රියාත්මක වන පරිදි නිකුත්කර ඇති චක‍්‍රලේඛයකින් පාසල් ක‍්‍රීඩා සංගම්වල සභාපති ධූරයට ඉදිරිපත්විය හැක්කේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය යටතේ විදුහල්පතිවරු ලෙස කටයුතු කරන අයට පමණක් ලෙස වගන්තියක් ඇතුළත් කර තිබේ. 

කොළඹ ප‍්‍රධාන පාසලක විදුල්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් තනතුරකට පැමිණි පුද්ගලයකු මෙම මෙහෙයුමේ ප‍්‍රධානියා වේ. දකුණු පළාතෙන් අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කළ පුද්ගලයකුද මෙයට හවුල් වී ඇති බව දැනගන්නට තිබේ. මෙම චක‍්‍රලේඛය නිර්මාණය කළේ යැයි කියන සිව්දෙනා අතරට පාසල් ක‍්‍රිකට් සහ රග්බි සංගමයේ සභාපති ධූරය දැරූ පුද්ගලයන් දෙදෙනකු ඇතුළත්ව සිටිති. ඉන් එක් පුද්ගලයකු එම සභාපති ධූරය උපයෝගි කරගනිමින් විදේශ සංචාර රැසකට සහභාගි වූ අතර ඇතැම් සංචාර අතරතුරදී නැවත පැමිණියද ඒ සඳහා වන ගෙවීම් නැවත ලබාදී නොතිබුණි. 

මුලදී මෙම චක‍්‍රලේඛය නිර්මාණයට තිදෙනකු පමණක් හවුල්ව තිබුණද පසුව ‘ටුවර් කාක්කා’ ලෙස ප‍්‍රසිද්ධියක් උසුලන පුද්ගලයා මෙයට සම්බන්ධ වී තිබේ. මෙම ‘ටුවර් කාක්කා’ මෑතකදී විදේශ සංචාරයකට සහභාගි වී ඇති අතර ඒ සඳහාද එම ක‍්‍රීඩාවට සම්බන්ධ මව් සංගමයෙන් ලක්‍ෂ ගණනක මුදලක් දීමනාව ලෙස ලබාගෙන තිබේ. මෙම චක‍්‍රලේඛය නිර්මාණය කළේ යැයි කියන සිව්දෙනාගේ එකම ඉලක්කය වෙනත් කිසිදු පාසල් ක‍්‍රීඩා සංගමයක සභාපති ධූරය නොව පාසල් ක‍්‍රිකට් සහ රග්බි යන සංගම් දෙකේ සභාපති ධූරය බව අමුතුවෙන් කිවයුතු නැත. 

“පාසල් ක‍්‍රීඩා සංගමයේ සභාපති තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලනයේ I, II, III ශ්‍රේණිධාරියකු පත්විය යුතුය. එසේ නොමැති අවස්ථාවල පමණක් අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ශාරීරික අධ්‍යාපන හා ක‍්‍රීඩා) අනුමැතිය පරිදි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I පන්තියේ විදුහල්පතිවරයකුට පත්විය හැකිය” ලෙස එම චක‍්‍රලේඛයේ සඳහන්ව තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් තනතුරු දරන ‘ගජමිතුරු කල්ලිය’ මෙහිදී පාපන්දු, කරාටේ, ජූඩෝ, බැඩ්මින්ටන් වැනි මුදල් එතරම් නොමැති සෙසු පාසල් ක‍්‍රීඩා සංගම්වල සභාපති ධූරවලට විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන්ට පත්වීමටද මෙහිදී පහසුකම් සලසා දී තිබේ. 

මෙම වගන්තියෙන් විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට විදුහල්පතිවරු රැසක් මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දී ඇති අතර විදුහල්පති සේවයේ වෘත්තිය සමිතිද මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවත් වාර්තා වේ. මෙහි ප‍්‍රධානතම ඉලක්කය පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති ධූරය බව ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති ධූරයට දකුණු පළාතේ නම ගිය පාසලක විදුහල්පති ශ්‍රේණිධාරියකු විදුහල්පතිව යකු පත්වීම වැළැක්වීම මෙහි ප‍්‍රධාන අරමුණ බවට පත්ව තිබෙන බව තතු දන්නෝ පවසති. 

අදාළ විදුහල්පතිවරයා වසර 10කට අධික කාලයක් පාසල් ක‍්‍රිකට් සංගමයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරමින් සාමාජිකයන්ගේ සිත දිනාගෙන තිබීම නිසා සභාපති ධූරයට ඡන්දයක් පැවතුණහොත් අනිවාර්යයෙන් ඔහු ජයග‍්‍රහණය කරන බව පාසල් ක‍්‍රිකට් සංගමයේ සාමාජිකයන්ගේ විශ්වාසයයි. පාසල් ක‍්‍රිකට් සංගමයේ ක‍්‍රියාකාරී සාමාජිකයන් අකර්මණ්‍ය කිරීමේ ව්‍යාපාරයක් පසුගිය වසරේ අග භාගයේ සිට ක‍්‍රියාත්මක අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේ එහි ලේකම්වරයාට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවීමට පාසල් ක‍්‍රිකට් සංගමය කටයුතු කළේය. ලේකම්වරයාගේ තනතුර තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණයකට අධිකරණය වාරණයක් පනවා තිබියදී එම නඩුවේ විත්තිකරුවන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් එම ලේකම්වරයාටම ජීවිතාන්තය දක්වා තහනමක් පැනවීම අධිකරණයට කළ අපහාසයක් බව බැලූ බැල්මට පෙනේ.

ක‍්‍රිකට් හෝ රග්බි හෝ ක‍්‍රීඩා කර නොමැති පුද්ගලයන්ට පාසල් සංගම්වලද ප‍්‍රධාන තනතුරුවලට පත්වීමේ අවස්ථාව නොදිය යුතුය. මොවුන් විදුහල්පති ධූරය යොදාගෙන සභාපති ධූරවලට පත්ව විවිධ වරප‍්‍රාසාද ලබාගැනීම මේ වනවිට වැළැක්විය නොහැකි වී තිබේ. ‘ගැටකරුවන්ට’ සමස්ත ජාතියේම ඉරණම තීරණය කරන පාසල් ක‍්‍රීඩාව පිළිබඳ තීරණ ගැනීමට ඉඩදී සිටිනවාද නැතිනම් ඒ පිළිබඳව කටයුතු කරනවාද යන්න දේශපාලන අධිකාරීයේ වගකීම බවට පත්ව තිබේ.  

යොහාන් භාසුර

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00