2020 මාර්තු 07 වන සෙනසුරාදා

ක්‍රීඩකයන්ට තේරෙන තේරීම් කමිටුවට නොතේරෙන ජයග්‍රහණයේ රහස

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 257

කණ්ඩායමක ජයග‍්‍රහණයට කණ්ඩායම් හැඟීම සහ ක‍්‍රීඩකයන්ගේ බැඳීම වඩාත් තීරණාත්මක සාධකයක් බව ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවට සහ ක‍්‍රිකට් බලධාරීන්ට නොදැනීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අවාසනාවකි. කොදෙව් පිලට එරෙහිව පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී තෙවැනි එක්දින තරගයෙන් ජය ලැබීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් වඩාත් වටහාගත හැකි භාෂාවෙන් එහි වැදගත්කම මෙසේ පැහැදිලි කළේය.

“නායකයාට අපි සෑම සහයෝගයක්ම ලබාදෙනවා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් එකතුවෙලා සාමූහික තීරණ තමයි සෑම අවස්ථාවකදීම ගත්තේ. අපේ අදහස් දුන්නම ඒ අවස්ථාවේදී හොඳ තීරණය තමයි නායකයා ගන්නේ. දිමුත් නායකත්වය ඉතාමත්ම හොඳින් කළා. කණ්ඩායම හොඳට හැසිරෙව්වා. දිමුත්ට සියලුම දෙනා උදව් කළා”

’අපි එක පවුලක් සහ කණ්ඩායමක් වගේ ක‍්‍රීඩා කිරීම තමයි ජයග‍්‍රහණය කරන්න හැකි වුණේ” යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

එක්දින පිලේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කිරීමේ මූලික හේතුවද කණ්ඩායම සමගි කිරීම මිස අන් කිසිවක් නොවේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල කොදෙව් පිලට එරෙහිව එක්දින තරගාවලිය 3x0 ක් ලෙස ජය ලැබීම පිටුපස දස්කම් මෙන්ම කණ්ඩායමක් ලෙස සාමූහිකව ක‍්‍රීඩා කිරීම වඩාත් ප‍්‍රදර්ශනය විය. 

ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා සෑම තීරණාත්මක අවස්ථාවකම දිමුත්ට සහයෝගය දැක්වීම ක‍්‍රීඩාංගණය තුළදී ප‍්‍රදර්ශනය වූ අතර එම සහයෝගය තරග නැරඹීමට පැමිණ සිටි දහස් සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයන්ගේ දැඩි ප‍්‍රශංසාවට ලක්විය. පල්ලෙකැලේ තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් වසර පහකට පසුව ඕවර 10ක් යවමින් ශ්‍රී ලංකාවට ජය ගෙන එමින් තරගයේ වීරයා බවට පත්වීම තේරීම් කමිටුවට සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කියාගන්නා ක‍්‍රීඩකයන්ට කණේ පහරකි. 

මැතිව්ස් අවසන් වරට එක්දින තරගයකදී ඕවර 10 සම්පූර්ණ කර තිබුණේ 2015 වසරේ ජූලි මස 15 වැනිදා පාකිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදීමය. ඉන්පසුව ආබාධ හේතුවෙන් ඔහු වසර කීපයක්ම පන්දු යැවීමෙන් ඉවත්ව සිටියේය. එංගලන්තයේදී පසුගිය වසරේ ජූලි මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගයේදී පන්දු යවන්නකු නොමැතිව දිමුත් අසරණ වී සිටියදී මැතිව්ස් පන්දු යැවීමට ඉදිරිපත් වූයේ තම හිසමත ඇති ජාතික වගකීම තේරීම්ගත් ශ්‍රී ලාංකිකයකු ලෙසය. 
එහිදී වසරකට ආසන්න කාලයකට පසුව පන්දුවට අතර ගත් මැතිව්ස් පළමු පන්දුවේදීම ශතකයක් රැස්කර සිටි නිකලස් පූරන් දවාගනිමින් ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණය ගෙන ආවේය. මැතිව්ස් එහිදී ඕවර දෙකක් යවමින් ශ්‍රී ලංකාවට ජය ගෙන ඒමෙන් පසුව පැවසුවේ දිමුත්ගේ අවශ්‍යතාව හේතුවෙන් තමන් පන්දු යැවූ බවයි. එහිදීද දිමුත්ගේ අවශ්‍යතාව යනු ජාතික අවශ්‍යතාව බව අමතක නොකළ යුතුය.

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් කණ්ඩායමෙන් ඉවත්වීමෙන් පසුව වඩාත් අත්දැකීම් ඇති ක‍්‍රීඩකයා බවට පත්වූයේ ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහුගේ අත්දැකීම් වඩාත් වැදගත් බව පසුගිය ඉරිදා පල්ලෙකැලේදී මනාව ප‍්‍රදර්ශනය විය. මැතිව්ස්ගේ කඩුලු අතර දිවයෑමේ දුර්වලතාවක් ඇති බව පවසමින් තේරීම් කමිටුව විස්සයි20 පිලෙන් ඉවත්කිරීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා විස්සයි20 පිලේ අවසන් සංචාරය වන ඉන්දීය සංචාරයේදීද මැතිව්ස්ට අවසන් තරගය පමණක් ලැබුණි. 
අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඇතැම් ක‍්‍රීඩකයන් සමඟ එක්ව සම්පත් විනාශ කිරීම දැන් හෝ නතර කළ යුතුය.   

 යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00