2020 ජනවාරි 11 වන සෙනසුරාදා

විස්සයි 20 පිලේ අවාසනාව

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 216

කුහකත්වය සහ ඊර්ෂ්‍යාව ඇති පුද්ගලයකුට හෝ කණ්ඩායමකට සාර්ථක විය නොහැකි බවට මනුස්සන් තුළ පිළිගැනීමක් තිබේ. ශ්‍රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව පරාජය වීමට හේතුවද ඉහත අසම්මත සිතුවිලි ක‍්‍රියාත්මක වීම බව ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යන්තරය පිළිබඳව තතු දන්නෝ පවසති.

ක‍්‍රිකට් යනු කණ්ඩායම් ක‍්‍රීඩාවක් බවත් ජයග‍්‍රහණය ලැබීමට නම් දස්කම් සංයෝජනයක් අවශ්‍ය බවට දැනුමක් නැති ඇතැම් ක‍්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකා විස්සයි20 පිලට මෙම තත්ත්වය උදාවී ඇති බව ප‍්‍රසිද්ධ රහසකි. ඉන්දියාවට එරෙහිව පසුගිය සිකුරාදා අවසන් වූ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දෝරිහිදී පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 7 ක පරාජයක් ලැබීය. මෙය ශ්‍රී ලංකා පිල පිට පිටම ලැබූ සිව්වැනි පරාජයයි. 
වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතයේ සිටියද ඔහුට තරග දෙකේදීම ස්ථානය හිමි නොවීය. මැතිව්ස් සතු අත්දැකීම් සම්භාරය විස්සයි20 පිලට මුසුකිරීමේ අවශ්‍යතාව මේ අනුව මඟහැරී ගියේය. ළහිරු කුමාර වැනි පන්දු යවන්නකු එළියෙන් තබා මැතිව්ස්ට අවස්ථාව ලබාදීමට ඕනෑවටත් වඩා අවස්ථාව තිබුණ එවැනි දෙයක් සිදුවූයේ නැත.

ඕස්ට්‍රෙිලියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට මැතිව්ස්ගේ සේවය වඩාත් වැදගත් වී ඇති අතර ඒ සඳහා මැතිව්ස් මානසිකව සූදානම් කිරීමට මෙම විස්සයි20 තරග තුන වඩාත් වැදගත් වී තිබේ. කෙසේ වෙතත් මැතිව්ස්ට කණ්ඩායමේ ස්ථානය ලබාදීමට ක‍්‍රීඩකයකු විරෝධය දැක්වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව දැනගන්නට තිබේ. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කණ්ඩායමේ සිටීම එම ක‍්‍රීඩකයා තර්ජනයක් ලෙස සළකන බවද දැනගන්නට තිබේ. 

ඉන්දීය සංචාරයට සංචිතය තේරීමේ සිට දෙවැනි තරගය දක්වා ක‍්‍රියාදාමයේ බොහෝ සැකකටයුතු තැන් තිබේ. විස්සයි20 ක‍්‍රිකට් පිටියටම වඩාත් සුදුසු තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ෂෙහාන් ජයසූරිය ඉවත් කරමින් එම ස්ථානයට ධනංජය ද සිල්වා කැඳවීය. ධනංජය ද සිල්වාගේ පැමිණීමත් එංගලන්තයේදී පසුගිය වසරේ පැවැති ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ජීවන් මෙන්ඩිස්ගේ පැමිණීමට සමාන විය හැකි බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහක් නිර්මාණ වී තිබේ. අදාළ කථානායකයන් සහ දේශපාලඥයන් අතර හොඳ සම්බන්ධතාවක් පවතින බව අමුතුවෙන් කිවයුතු නැත. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව මේ වනවිට යන්න ඉඩ හැරියහොත් ඕස්ට්‍රෙිලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ හැකියාව අද වුවද ප‍්‍රකාශ කළ හැකිය. අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවට ක‍්‍රීඩා අමාත්‍යවරයා හෝ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හෝ පැහැදිලි නිර්ණායක ලබාදීම නොපමාව කළ යුතුය. එසේ නොමැති වුවහොත් ප‍්‍රතිඵලය දරුණු වීම වැළැක්විය නොහැක.   

යොහාන් භාසුර