2020 ජනවාරි 11 වන සෙනසුරාදා

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල අනලා!

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

“ලෝක කුසලානයට යන්නෙ අපි තෝරපු කණ්ඩායමක් නෙමෙයි. අපි සමබර කණ්ඩායමක් දුන්නා. ජාතික තේරීම් කමිටුවයි, තවත් නිලධාරියකු එකතු වෙලා ඒ කණ්ඩායම වෙනස් කරලා. අපි මේ කණ්ඩායමේ ඉන්න ක‍්‍රීඩකයන්ව අවුරුදු 15 විතර ඉඳලා දන්නවා. හැබැයි කණ්ඩායම තෝරපු ඇතැම් අය ඇතැම් ක‍්‍රීඩකයන් මොන අතින් පන්දු යවනවද කියලවත් දන්නේ නෑ” යැයි කනිෂ්ඨ ක‍්‍රිකට් කණ්ඩායම්වල තේරීම්වලට සම්බන්ධ නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය. 

දකුණු අප‍්‍රිකාවේදී ලබන 17 වැනිදා ආරම්භ වන වයස 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට එසේත් නැත්නම් යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් පිළිබඳව මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ. හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පිහිටෙන් පැමිණ, ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සමඟ ගජ මිතුරු සම්බන්ධකම් පවත්වමින් සිටින ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමේ නිලධාරියකු ක‍්‍රීඩකයන් තේරීමේ සිට සියලු කටයුතුවලට බලපෑම් කරමින් සිටියි. අදාළ නිලධාරියාගේ නමට කිට්ටු නමක් ඇති ක‍්‍රීඩකයෙක් සංචිතය නම් කිරීමට පෙර එහි සිටින බව අදාළ නිලධාරියා පවසා ඇති බවද දැනගන්නට තිබේ.

විස්තර විචාරය, කණ්ඩායම් තේරීම ඇතුළු ඕනෑම දෙයකට ගෙවීම් කරන්නේ නම් කටයුතු කරන්නේ යැයි කියන මෙම නිලධාරියා එංගලන්තයේ සිටින ක‍්‍රීඩකයන්ගේ එජන්තයකුට මෙම 19න් පහළ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් බාරදීමටද මේ වනවිට පිඹුරුපත් සකස්කරමින් සිටින බවද දැනගන්නට තිබේ. මුදල් ගෙවීම් ලැබීමට ක‍්‍රිකට්වලට සම්බන්ධ  ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත්වන්නේ යැයි ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ වඩාත් ප‍්‍රසිද්ධ මෙම වයස 19න් පහළ කණ්ඩායමේ සංචාර කාක්කා යැයි හඳුන්වන පුද්ගලයාද මෙම තේරීම්වලට සෘජුව මැදිහත්ව සිටින බව වාර්තා වේ. 

එකම යොවුන් එක්දින තරගයකට හෝ ක‍්‍රීඩාකර නොමැති වේගපන්දු යවන්නකු වන මතීෂ පතිරණ සංචිතයට ඇතුළත්වීම පිළිබඳව බොහෝ දෙනකුගේ විවේචන එල්ල වී තිබේ. මතීෂ පතිරණ නැමැති පන්දු යවන්නා ලසිත් මාලිංග පන්දු යවන ඉදිරියව්වට සමානකමක් දැක්වීම හේතුවෙන් ඔහුව සංචිතයට ඇතුළත් කර ඇති බව දැනගන්නට තිබේ. ඔහු ඇතුළත් කිරීමේ එකම අරමුණ මාලිංග වැනි තවත් පන්දු යවන්නකු ශ්‍රී ලංකාවේ සිටින බව ලෝකයට පෙන්වීම බව දැනගන්නට තිබේ.
මෙම සංචිතයේ පිතිකරුවන් අට දෙනකු සිටීමෙන් සංචිතයේ සමබරතාව ගිලිහී ගොස් ඇති බවට චෝදනා එල්ල වේ. දඟපන්දු යවන්නන් තිදෙනාගෙන් කෙනෙකු පළමු තරගයේදීම ආබාධයකට ලක්වුවහොත් ඊළඟ තරගයේදී දඟපන්දු තිදෙනාම ක‍්‍රීඩා කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා ආදේශක පන්දු යවන්නෙකු නොමැති බවට චොද්නා එල්ල වේ. කනිෂ්ඨ තේරීම් කමිටුව ඒ සඳහා තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන දුනිත් වෙල්ලාලගේ සංචිතයට ඇතුළත් කළ ද ජාතික තේරීම් කමිටුව ඔහුව කපා දැමූ බවට චෝදනා එල්ල වේ. 

මැදපෙළ පිතිකරුවකු වන අවිෂ්ක තරිඳු කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳවද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. යොවුන් එක්දින තරග 15 කට පමණ ක‍්‍රීඩාකර ඇති අවිෂ්ක තරිඳු ඉවත්කිරීමත් සමඟ මැදපෙළ පිතිකරුවකු නොමැති තත්ත්වයක් උද්ගත වී තිබේ. අවිෂ්කගෙන් තුන් ඉරියව් ක‍්‍රීඩක භූමිකාව ඉවත් කිරීමට ඔහුට අවසාන කාලයේ ක‍්‍රීඩා කළ තරගවලදී පන්දු යැවීමේ අවස්ථාව නොදුන් බවද දැනගන්නට තිබේ.

සංචාරයක් අතරතුරදී හෝටල් කාමරයේ බීමත්ව සිටියේ යැයි ක‍්‍රීඩකයන් තිදෙනකු තාවකාලික තහනමකට ලක්වීමේ සිද්ධියේ ප‍්‍රධාන චරිතය වූ ක‍්‍රීඩකයා කිසිදු දඬුවමකින් තොරව නැවතත් සංචිතයට පැමිණ සිටීම මෙහි වඩාත් කැපී පෙනෙන සිද්ධියකි. වඩාත්ම බීමත්ව සිටීම නිසා සෙසු ක‍්‍රීඩකයන්ගේ සත්කාරද ලැබුවේ යැයි කියන මෙම ක‍්‍රීඩකයා චෝදනාවෙන් මඟ හැරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කළ බව චෝදනා එල්ල විය. 

මෙම තත්ත්වය හමුවේ මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ටෙස්ට් රටවල් අතරින් අත්දැකීම් අඩුම කණ්ඩායම ශ්‍රී ලංකාව ඉදිරිපත් කර තිබේ. 

 විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00