2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ෂෙහාන් කැපෙයි: ධනංජය එයි

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 171

පිට දඟපන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස විස්සයි20 තරගාවලි දෙකකට ක‍්‍රීඩා කළ ෂෙහාන් ජයසූරිය ඉවත්කරමින් ඉන්දියාවට එරෙහිව අද (05) ආරම්භ වන විස්සයි20 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට නැවත ධනංජය ද සිල්වා කැඳවා තිබුණි. පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී ධනංජය ද සිල්වා ශතකයක් රැස්කිරීමත් සමඟ ඔහු විස්සයි20 සංචිතයටද කැඳවීමට තේරීම් කමිටුව ප‍්‍රමාද නොවීම මෙහිදී වඩාත් කැපී පෙනේ. 

ධනංජය පළමු තරගයේදී ශතකයක් රැස්කළද දෙවැනි තරගයේදී අසාර්ථක වූ අතර ඒ හේතුවෙන් ෂෙහාන් ඉවත්කිරීමට තේරීම් කමිටුව හදිසිවීම මෙහිදී ගැටලුසහගතය. ෂෙහාන් යනු වසර ගණනාවක සිට මෙවැනි කැපීම් කෙටීම්වලට හසුවන ක‍්‍රීඩකයකු බව අමුතුවෙන් කිවයුතු නැත. ෂෙහාන්ගේ විස්සයි20 ජාත්‍යන්තර තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කර මෙම ඉවත්කිරීම කර ඇති බව වාර්තා වේ. තේරීම් කමිටුව සාමාජිකයකු ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරියකුට පවසා ඇත්තේ එයාගෙ වැඩි ලකුණු සංඛ්‍යාව 40ක් බවයි. 

ෂෙහාන් ජයසූරිය අංක 6 සිට 8 දක්වා ස්ථානවල පන්දුවට පහර දීමට යොදවා විස්සයි20 තරගයකදී ඔහුගෙන් ලකුණු 100ක් ලබාපොරොත්තු වන්නේ නම් එවැනි තේරීම් කමිටුවක් ජාතික මට්ටමක තිබෙනවාද යන්න සැක සහිතය. ඇතැම් ක‍්‍රීඩකයන් පුහුණුකරු අල්ලාගෙන කණ්ඩායමට එන බවට හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයේ ටික කලක් කටයුතු කරමින් සිටින විට බොහෝ දෙනෙක් පැවසූහ. එහිදී ඇතැම් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් හතුරුසිංහගේ මිනිස්සු යැයි පවසමින් සංචිතයෙන් ඉවත්කිරීමටද තේරීම් කමිටුව කටයුතු කළේය. නව පුහුණුකරු මිකී ආතර් මහතා ද එම තත්ත්වයට වැටී ඇද්දැයි මෙහිදී සැකයක් මතුවන්නේ ධනංජය ද සිල්වාගේ අවශ්‍යතාව පුහුණුකරැගේ ඉල්ලීමක් බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ පැතිර යන කථාවත් සමඟිනි.

ඇන්ජලෝ මැතිව්ස් නැවත සංචිතයට ගෙන ඒම වඩාත් ප‍්‍රශස්ථ තීරණයක් යැයි කිවහැකිය. ශ්‍රී ලංකා පිලේ පසුගිය ඕස්ෙට්‍ර්ලියානු සංචාරයේ තරග තුනම පරාජය වූ අවස්ථාවේදී කණ්ඩායම තුළ අත්දැකීම් කියන තීරණාත්මක සාධකයේ විශාල අඩුවක් ඇති බව පෙනුණි. ඇන්ජලෝ මැතිව්ස් යනු ලසිත් මාලිංග හැරුණු විට කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයාය. ඔහු කණ්ඩායමේ සිටීම ප‍්‍රසාද දීමනාවක් බඳුය. එංගලන්තයේදී පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගයේදී පන්දු යවන්නන් නොමැතිව ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටී සිටියදී මැතිව්ස්ගේ ඉදිරිපත් වීම එයට කදිම උදාහරණයකි. 

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් සංචිතය පසුගිය බදාදා (1 වැනිදා) තරග තුනකින් සමන්විත තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඉන්දීය තණතීරැ සහ පරිසරය ලසිත් මාලිංගට නුහුරු නුපුරුදු නැත. ඒ හේතුවෙන් මෙම තරගාවලියේදී වෙනසක් කිරීමේ හැකියාව ඔහුට තිබිය යුතුය. මෙම වසරේ ඔක්තෝබර් මස  ඕස්ෙට්‍ර්ලියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට කණ්ඩායම නිර්මාණය කරගැනීමට ඉතිරිව ඇති තරග කීපයෙන් මෙම තරග තුනට විශේෂ ස්ථානයක් හිමිවේ. 

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:

ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප‍්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ, ඕෂධ ප‍්‍රනාන්දු, දසුන් ශානක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර සහ ලක්ෂාන් සඳකැන්

I යොහාන් භාසුර