2017 මාර්තු 18 වන සෙනසුරාදා

දිනේෂ් චන්දිමාල් සුපුරුදු රිද්මයට

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

 

බංග්ලාදේශයට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිල ඔසවා තබමින් හිස එසවීය. තරගයේ දෙවැනි දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ ක‍්‍රීඩා අවසන් වන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක් රැස්කිරීමට සමත්ව සිටීමෙන් මෙම තරගයේ ද පළමු ඉනිම වඩාත් තරගකාරී වන හැඩක් නිර්මාණය වී තිබුණි.

ශ‍්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ දුර්වලතාව මෙම තරගයේදී ද බංග්ලාදේශ පිලට වාසියක් බවට පත්ව තිබේ. ශ‍්‍රී ලංකා පිල ලකුණු 70 කට කඩුලු 4 ක් බිඳ වැටී සිටියදී දිනේෂ් චන්දිමාල් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 138 ක් රැස් කළේය. එහිදී ධනංජයද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල දුන් සහයෝගයත් සමඟ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 338 ක් බවට පත්විය.

දකුණු අප‍්‍රිකානු සංචාරයේදී චන්දිමාල් අසාර්ථක වීම හේතුවෙන් ඔහුට එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල ස්ථානද අහිමිවිය. තේරීම් කමිටුව ඔහුට පවසා තිබුණේ ටෙස්ට් ක‍්‍රීඩා කර නැවත ස්ථානය ලබාගන්නා ලෙසය. මෙම ඉනිමත් සමඟ චන්දිමාල්ට එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නැවතත් අවස්ථාව හිමිවේ යැයි විශ්වාසයක් තැබිය හැකි අතර බංග්ලාදේශ පිලට එරෙහිව එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සඳුදා නම් කිරීමට නියමිතය. 

වේගපන්දු යවන ළහිරු කුමාර ඉවත්කර මෙම තරගයට තුන් ඉරියව් ක‍්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවූ අතර ඔහු අවශ්‍ය අවස්ථාවේදී ලකුණු 34 ක් රැස්කරමින් යම් තරමකට සාර්ථක විය. ධනංජයට ද දකුණු අප‍්‍රිකානු සංචාරය අපලයක් වූ අතර මෙම ඉනිම සුබ පෙර නිමිත්තක් වීමට බොහෝදුරට ඉඩ තිබේ.  

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 259 ක පහසු  ජයක් ලබමින් 1x0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැඳී සිටීම නිසා මෙම තරගය විසඳුමකින් තොරව අවසන් කිරීම පමණක් ශ්‍රී ලංකාවට ප‍්‍රමාණවත් වේ. වර්ෂාව ඉදිරි දිනවලදී පැවතුණහොත් තරගයට බාධාවක් වීමට බොහෝ විට ඉඩ තිබේ. 

බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ 100 වැනි ටෙස්ට් තරගය වූ මෙම තරගය ආරම්භ වීමට පෙර චාම් උත්සවයක් ද සංවිධානය කර තිබුණි. 

 භාසුර