2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

පකිස්තාන් සංචාරයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වැඩි පිරිසක්

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

පාකිස්තානයේදී ලබන 11 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත අත්දැකීම් වැඩි කණ්ඩායමක් සහභාගී කරවීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. ක‍්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් මෙම සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා සහ නායක දිමුත් කරුණාරත්න වැනි වඩාත් ජ්‍යෙෂ්ඨ ටෙස්ට් ක‍්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.

මෙම සංචිතයට නිත්‍ය පිතිරුවන් නව දෙනකු, වේගපන්දු යවන්නන් සිවුදෙනකු සහ දඟ පන්දු යවන්නන් තිදෙනෙක් ඇතුළත්ව සිටිති. වමතින් දඟපන්දු යවන යොවුන් ක‍්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය මෙම සංචාරයට ඇතුළත්ව සිටීම කැපී පෙනේ. 
“පාකිස්තානයට එරෙහිව මේ තරගාවලිය වඩාත් අභියෝගාත්මක එකක්. ඒ නිසා අපි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට පියවර ගත්තා. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් මෙම තරගාවලියේදී දක්වන දස්කම් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මෙම තරගාවලියෙන් පසුව පෙබරවාරි මස අයර්ලන්තයට එරෙහිව ශ‍්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙනවා. ඒ තරගයේදී තරැණ ක‍්‍රීඩකයන් කිහිපදෙනකුට අවස්ථාව දෙන්න අපේ සැලැස්මක් තියෙනවා” යැයි තේරීම් කමිටු නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් 2009 වසරෙන් පසුව පාකිස්තානයේ තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වීම නිසා මෙම තරගාවලියට බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. මෙහිදී බොහෝ දෙනකුගේ අවධානය ටෙස්ට් තරගාවලියේ ජයග‍්‍රහණයට වඩා ආරක්‍ෂාව සම්බන්ධයෙන් යොමු වී ඇති බව පෙනේ. ක‍්‍රීඩකයන් රැගත් බස් රථය දැඩි ආරක්‍ෂාව යටතේ ධාවනය වන ආකාරය නවතම අත්දැකීමක් බවට පත්ව තිබේ. 

පාකිස්තානයේදී මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම් තරගාවලියකට සහභාගි වූ අවස්ථාවේදී විශේෂ ආරක්‍ෂාවක් යොදා තිබූ අතර පාකිස්තානයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති වූ විශ්වාසය මත අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්තානයට යෑමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කළේය. එම තරගාවලියට සහභාගි වීම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් 10 දෙනකු ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙවැනි පෙළ කණ්ඩායම් සහභාගි කිරීමට සිදුවිය. එම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ තරගාවලිවලට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කරන ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බවයි.

එම අනතුරු හැඟවීමත් සමඟ කිසිදු ක‍්‍රීඩකයකු මෙම සංචාරයට සහභාගි වීම මේ දක්වා ප‍්‍රතික්ෂේප කර නොමැති බව දැනගන්නට තිබේ.  ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 8 වැනිදා රාත‍්‍රී පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය. ශ‍්‍රී ලංකා පිල දෙසැම්බර් මස 9 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 14ක කාලයක් පාකිස්තානයේ රැඳී සිටියි. 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඕෂධ ප‍්‍රනාන්දු, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත, ඩිල්රැවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්‍ෂාන් සඳකැන්

 යොහාන් භාසුර