2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

සාග් පදක්කම් සටන යට එක එක සෙල්ලම් එළියට

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

නේපාලයේදී දැන් පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල (සාග් ක‍්‍රීඩා උළෙල) ආරම්භ වීමට පෙරම ශ්‍රී ලංකාව තුළ ‘සාග් උණුසුම’ දැනෙන්නට පටන්ගෙන තිබේ. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, නිලධාරීන් සහ බලධාරීන්ගේ විවිධ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරියට මෙම උණුසුම වඩාත් දැඩිවීමට ඉඩ තිබේ.

ආබාධ සඟවාගෙන ක‍්‍රීඩා උළෙලවලට සහභාගි වී ක‍්‍රීඩා උළෙල අතරතුරදී ආබාධයක් හේතුවෙන් තරග නොකරන බව ප‍්‍රකාශ කිරීම අතීතයේ සිට ශ්‍රී ලංකා මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අනුගමනය කළ කූට උපක‍්‍රමයකි. ආබාධයන්ට ලක්ව සිටින්නේ යැයි කියන මළල ක‍්‍රීඩිකාවන් දෙදෙනකු සහ ක‍්‍රීඩකයකු ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය මඟහැරීම හේතුවෙන් ඔවුන්ගේ සහභාගිත්වය පසුගිය සතිය ආරම්භයේ අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි. 

තහනමට ලක්වූ ක‍්‍රීඩා සංගම් නිලධාරීන් ශ්‍රී ලංකා ක‍්‍රීඩා කණ්ඩායම්වලට විවිධ ක‍්‍රම ඔස්සේ ඇතුළත්ව විදේශ රටවල ක‍්‍රීඩා උළෙලවලට සහභාගි වීම ශ්‍රී ලංකාවට එතරම් අලුත් දෙයක් නම් නොවේ. විදේශ තරග සංචාරවලට සහභාගි වී සිටියදී ආගමන නීතිරීති කඩ කරමින් එම රටවල්වල අතුරුදන් වූ ක‍්‍රීඩකයන් සහ නිලධාරීන් වසර ගණනාවකට පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ විදේශ සංචාරවලට සහභාගි වූ අවස්ථාවද අප අසා තිබේ. එම පුද්ගලයන් මෙවැනි කටයුතුවලදී දේශපාලන හයිය හෝ ජාතික ඔලිම්පික් කමිටුවේ ප‍්‍රබල නිලධාරීන්ගේ හිතවත්කම් යොදාගැනීම සාමාන්‍ය තත්ත්වයකි. ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ක‍්‍රීඩා අමාතයංශයේ රියැදුරන් පවා ලෝකයේ ප‍්‍රධාන ක‍්‍රීඩා උළෙලවලට නිලධාරීන් ලෙස මීට පෙර සහභාගි වී ඇති බව තතු දන්නෝ පවසති. සාග් ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා පරිපාලනය මගින් තහනම් කළ නිලධාරියකු කළමනාකරුවකු ලෙස සහභාගි වීම පසුගිය සතියේ කථාබහට ලක්විය. 

ශ්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයකු වන මහින්ද ලියනගේ මහතා ක‍්‍රීඩා අමාත්‍යංශය නොමඟ යවමින් තුන්ප‍්‍රයාම කණ්ඩායමේ කළමනාකරු ලෙස මෙසේ සහභාගි වී ඇති බව එම අමාත්‍යංශය පවසයි. ක‍්‍රීඩා අමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත වහාම ක‍්‍රියාත්මක වෙමින් ලියනගේ මහතා නැවත ශ්‍රී ලංකාවට කැඳවන ලෙස ජාතික ඔලිම්පික් කමිටුවට නියෝග කර තිබුණි. සාමාජිකයන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන ශ්‍රී ලංකා සාග් කණ්ඩායමේ ලියනගේ මහතා එක පුද්ගලයකු පමණක් වන අතර මෙවැනි ආකාරයෙන් තවත් පුද්ගලයන් ඇතුළත්ව නැතැයි කිසිවකුට කිව නොහැක. මෙහිදී ලියනගේ මහතා තම නමේ මුලකුරු සමඟ ‘ලියනගේ’ යන නම ක‍්‍රීඩා අමාත්‍යංශයට සහ සෙසු ආයතනවලට යොමු කළ ලේඛනවලට ඇතුළත්කර තිබූ බව ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ‘දේශය’ට පැවසීය. 

මෙවර සාග් ක‍්‍රීඩා උළෙල පිළිබඳව අවධානය යොමු කිරීමේදී මළල ක‍්‍රීඩා සහ පිහිනුම් යන ක‍්‍රීඩා දෙකේ ක‍්‍රීඩිකාවන් දෙදෙනකු ක‍්‍රීඩා අමාත්‍යාංශය මගින් අතරමං කිරීම වඩාත් කනගාටුදායකය. කෙටි දුර ක‍්‍රීඩිකා ෂෙලින්ඩා ජැන්සන් මීටර 200 කාන්තා ඉසව්වටද, පිහිනුම් ක‍්‍රීඩිකා ඔනලි යහම්පත් මීටර 200 කාන්තා සමනළ ආර ඉසව්වට ද, ක‍්‍රීඩා අමාත්‍යංශය ඇතුළත් කළද ඔවුන්ට ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබුණි. 

13 හැවිරිදි ඔනලි යහම්පත් මීටර 200 කාන්තා සමනළ ආර ඉසව්වේ තේරීම් තරගයේදී පළමු ස්ථානය ලැබූ ක‍්‍රීඩිකාව වුවද එම ඉසව්වට විදේශයක පදිංචිව සිටින ක‍්‍රීඩිකාවක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය පියවර ගෙන තිබුණි. ඇයගේ අවස්ථාව ලබාගැනීමට අවසන් මොහොත දක්වා සටන් කළද එය අසාර්ථක විය. ක‍්‍රීඩා උළෙලකදී රට නියෝජනය කිරීම දේශපාලනඥයන්ට උවමනා ආකාරයට කළ නොහැකි බව මෙහිදී ප‍්‍රදර්ශනය විය.

ක‍්‍රීඩා අමාත්‍යංශය මාධ්‍ය සම්බන්ධයෙන් ඉතාමත් බාල බොළඳ ආකාරයට කටයුතු කළ ආකාරය දැකගත හැකිවිය. ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන නඩයේ ලැයිස්තුව මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් උදහස් වූ එහි බලධාරීහු මාධ්‍ය ආවරණයෙන් පෞද්ගලික මාධ්‍ය කපා හැරියහ. පෞද්ගලික මාධ්‍ය කපා හැරීම ඉතාමත් නරක ආදර්ශයක් බව මෙහිදී මතකයේ තබාගත යුතුය. විවේචන ඉවසා ගැනීමට නොහැකිව පෞද්ගලික මාධ්‍ය සඳහා පහසුකම් නොදීම මාධ්‍යයට කරන තර්ජනයකි.   

 යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00