2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් හෙල්ලුම් කන ක්‍රීඩා පිටිය!

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 329

ජනාධිපතිවරණයේදී ඇති වූ දැවැන්ත දේශපාලන පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රීඩාවට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමඟ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය එම අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා යටතේ ක‍්‍රියාත්මක වේ.

ජනාධිපතිවරණයෙන් ජය ලැබූ පාර්ශ්වයේ ප‍්‍රබලයන් රැසකට සම්බන්ධකම් ඇති ජාතික  ඕලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය යන ආයතනවල පරිපාලන මේ වන විට තිගැස්සීමට පත්ව ඇති බව දැනගන්නට තිබේ.
‘‘එගොල්ලො ඉන්නෙ තව දවස් කීපයයිනේ. අපි බලමුකො මොකද වෙන්නේ කියලා’’ යැයි වර්තමාන ක‍්‍රිකට් පරිපාලනයේ විරුද්ධ පාර්ශවය මැතිවරණයට පෙර පවසා තිබුණි.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය වඩාත් ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතාට ක‍්‍රීඩා පරිපාලනයට පැමිණීමට නොහැකි වන ලෙස හිටපු ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා නීති සම්පාදනය කරමින් සුමතිපාල මහතාට ක‍්‍රිකට් විධායක කමිටුව තහනම් කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. 

තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමාන සභාපති ශම්මි සිල්වා යන මහත්වරුන් අතර පවතින සීතල යුද්ධය හේතුවෙන් මාස කීපයක සිට ක‍්‍රිකට් පරිපාලනය වඩාත් කථා බහට ලක්විය. 

සුමතිපාල මහතා ජනාධිපතිවරණයේදී ජයග‍්‍රාහි පාර්ශ්වය නියෝජනය කිරීමෙන් ඔහුට කිසියම් දැනෙන දෙයක් කිරීමේ හැකියාව ඇති බවට විශ්වාසයක් පවතී. එය එසේ වුවද වර්තමාන සහභාපති ශම්මි සිල්වා මහතා ද සී. එච්. රග්බි පිල හරහා ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහි පාර්ශවයේ සුමතිපාල මහතාට වඩා ප‍්‍රබල පිරිසක් සමඟ හොඳ සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇති බව දැනගන්නට තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් යෝෂිත සහ රෝහිත යන රාජපක්‍ෂ සොයුරෝ පසුගිය අන්තර් සමාජ රග්බි තරගාවලියේදී සී. එච්. පිල නියෝජනය කළහ. 
ඒ අනුව ක‍්‍රිකට් පරිපාලනයට අත තැබීම ද තිලංග සුමතිපාල මහතාට එතරම් පහසු නොවනු ඇත. හිටපු ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී එනම් පසුගිය 11 වැනිදා ක‍්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත සම්මත කිරීම වඩාත් කැපී පෙනෙන සිද්ධියකි.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරය දරණ කාලයේදී නාමල් රාජපක්‍ෂ මහතා රග්බි ක‍්‍රීඩාවට වඩාත් සමීපව කටයුතු කළේය. එම කාලයේදී රග්බි සංගමය ක‍්‍රියාත්මක කළ සත් සාමාජික රග්බි තරගාවලි වෙනුවට කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය වැනි තරගාවලි පැවැත්විණි. 

ශ්‍රී ලංකා රග්බි හිටපු සභාපතිවරයකු වන අසංග සෙනෙවිරත්න සහ වර්තමාන සභාපති ලසිත ගුණරත්න යන මහත්වරු අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් රග්බි පරිපාලනය ද උණුසුම් වී ඇති බව දැනගන්නට තිබේ. 

ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලනය පිළිබඳව කාලයක සිට විවේචන තිබූ අතර එහි වඩාත් කැපී පෙනෙන චරිතය බවට පත්ව සිටි එහි හිටපු සභාපති මෙන්ම හිටපු ජනාධිපති ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පාස්කු දින ප‍්‍රහාරයට සම්බන්ධව කරුණකට බන්ධනාගාරගතව සිටීම නිසා එහි වර්තමාන පරිපාලනයේ ශක්තිය හීනවී ඇති බව ක්ෂේත‍්‍රයේ කථා බහට ලක්ව තිබේ. 

ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන නිලධාරී මණ්ඩලය පත්වීම සඳහා පැවැති නිලවරණය සම්බන්ධයෙන් ද විවේචන පැවැති අතර ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ජනාධිපතිවරණ ජයග‍්‍රාහි පාර්ශ්වයේ තිරය පිටුපස සිටින ප‍්‍රබල පුද්ගලයෙක් පරාජයට පත්වීම ද වඩාත් කැපී පෙනුණි. 

ක‍්‍රීඩා නීතිය වෙනස්කිරීමේදී ද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට ලිඛිත පෙත්සම් ශ්‍රී ලංකාවෙන් යොමු වන බව ප‍්‍රසිද්ධ රහසකි. එවැනි තත්ත්වයක් තුළ දේශපාලන පෙරළියත් සමඟ ක‍්‍රීඩා සංගම්වලට බලපෑම් වුවහොත් ජාත්‍යන්තරයට ලිඛිත පෙත්සම්වලින් අඩුවක් නොවනු ඇත. ක‍්‍රීඩාවට දේශපාලනය රිංගීම වඩාත් භායානක තත්ත්වයකි. එය එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාව දැන් තිබෙන අගාධයෙන් තව දුරටත් ප‍්‍රපාතයට ඇද වැටේ.  

 විශේෂ ලියුම්කරුවකු විසිනි