2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

මාලිංග විස්සයි 20 කණ්ඩායමට හයියක්ද? පිල්ලියක්ද?

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 275

ලසිත් මාලිංගගේ නායකත්වය සහ අසන්ත ද මෙල්ගේ තේරීම් කමිටු සභාපතිත්වයත් පිළිබඳව අඛණ්ඩව විරෝධයක් තිබුණ ද බලධාරීහු ගොළුවන් සේ බලා සිටියහ. එහි ප‍්‍රතිඵල ඕස්ට්‍රේලියානු විස්සයි 20 තරගාවලියේදී වඩාත් පැහැදිලිව දැකගත හැකිවිය.

එංගලන්තයේදී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වය මත පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉවත් කිරීමට වලි කන ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ ක‍්‍රිකට් බලධාරීන් අසන්ත ද මෙල් සම්බන්ධයෙන් කටයුතු නොකිරීම ගැටලු සහගතය. 

ලෝක කුසලාන තරගාවලියේ සංචිතය තේරීමේ දුර්වලතාව යන කරුණ මත තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනකු ඉවත් කළ ක‍්‍රීඩා අමාත්‍යවරයා එහි ප‍්‍රධානියා වන අසන්ත ද මෙල්ට සුදු හුණු තැවරුවේය. ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් කරන ලෙස කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු වන තිසර පෙරේරා ලිඛිතව ඉල්ලීමක් කළ ද විස්සයි 20 පිලේ නායකත්වයේ රඳවා ගැනීමට අසන්ත මෙල් ඇතුළු තේරීම් කමිටුව කටයුතු කළේය. 

මාලිංග සහ අසන්ත එකතුව ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග තුනේදී කාඩ් කූට්ටම අනන්නාක් මෙන් ක‍්‍රීඩකයන් මන්මුලා කළ ආකාරය දැකගත හැකි වූයේ ඒ අනුවය.

ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා විස්සයි 20 පිලේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මෙම සියලු තීරණ මාලිංග එළඹි ඒවා බව වාර්තා වේ. මාලිංග කණ්ඩායම තෝරනවා නම් තේරීම් කමිටුවක් අවශ්‍ය නොවේ. 

ධනුෂ්ක ගුණතිලක විස්සයි20 පිලේ ආරම්භක පිතිකරු ලෙස සාර්ථක වුවහොත් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට මඟ විවෘත වේ. එසේ වුවද තෙවැනි තරගයේදී ධනුෂ්ක විවේක ගැන්වීය.

පාකිස්තානු සංචාරයේදී නැවත කථාබහට ලක්වූ භානුක රාජපක්‍ෂට කළ හානිය මෙහිදී වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්විය. භානුක පළමු තරගයේදී අංක තුන ස්ථානයේ පන්දුවට පහර දෙමින් අසාර්ථක විය. 

දෙවැනි තරගයේදී ඔහු කණ්ඩායමෙන් ඉවත් කළ අතර තෙවැනි තරගයේදී නැවතත් කණ්ඩායමට කැඳවීය. එහි වඩාත් කැපී පෙනෙන සිද්ධිය වන්නේ තෙවැනි තරගයේදී භානුක අංක හත ස්ථානයට ඇද දැමීමය. භානුක එම ඉනිමේ පහර දුන් පන්දු 11 දී හයේ සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 17 ක් රැස් කළේය. 

පාකිස්තානු සංචාරයේදී නායකත්වය දැරූ දසුන් ශානක තෙවැනි තරගයේදී විවේක ගැන්වීම ද කැපී පෙනේ. දසුන් විස්සයි20 පිලට ගෙන ආ නැවුම් බව සහ නිදහස ඕස්ට්‍රේලියානු සංචාරයේදී නොතිබුණු බව වාර්තා වේ. එය තරගවලදී පෙනෙන්නට තිබිණි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලට ෂෙහාන් ජයසූරිය හොඳට හැටි මුසුවන පිට දඟ පන්දු යවන්නා වුවද ඔහුට අවසන් තරගයේදී පමණක් අවස්ථාව ලැබුණි. 

ශ්‍රී ලංකා විස්සයි20 පිලට ඕස්ට්‍රේලියාවේදී ලබන වසරේ ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර තවත් තරග 10 කට හෝ 12 කට පමණක් සහභාගි වීමේ අවස්ථාව ලැබේ. එම සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීම නිසා ඕස්ට්‍රේලියානු තණතීරුවලට හුරුවීමට වෙනත් අවස්ථාවක් ලැබේද යන්න සැක සහිතය. මෙම තත්ත්වය තුළ තේරීම් කමිටුව කළ යුතුව තිබුණේ කණ්ඩායමේ ස්ථානය ස්ථිර යැයි හැගෙන සියලුම ක‍්‍රීඩකයන්ට ස්ථිර ස්ථාන සමඟින් අවස්ථාව ලබාදීමය. නමුත් එය එසේ නොවීය.

ශ්‍රී ලංකා විස්සයි20 පිලට ලබන මාර්තු මස දක්වා විස්සයි20 තරගයක් නැත. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව විස්සයි20 තරග දෙකක් ලබන මාර්තු මස කොළඹදී පැවැත්වීමට නියමිතය. එම තරගාවලියේ සිට ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට ස්ථිර වශයෙන්ම සහභාගි වන ක‍්‍රීඩකයන් 12 ක් නම් කර ඔවුන්ට අඛණ්ඩව ඉදිරි තරග 10 ලබාදෙන බව ප‍්‍රකාශ කළොත්, වඩාත් ආත්මශක්තියක් ඇති කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට සහභාගි කළ හැකි වේ.

පාකිස්තානු සංචාරයේදී ගොඩනඟාගත් ආත්මවිශ්වාසය දැන් බිඳ වැටී හමාරය.  ඕස්ට්‍රේලියාවට එරෙහිව 3x0 කින් දරුණු පරාජයට පත්වීමෙන් පාකිස්තානයට එරෙහිව ලැබූ ජයග‍්‍රහණය අහඹු සිදුවීමක් දැයි සැහැල්ලුවට ලක්ව තිබේ.

 සටහන: වරකාගොඩ ගමගේ