2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

තිලංගගේ පුටුව ජයන්ත ධර්මදාසට?

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

තිලංග සුමතිපාල මහතාට ක‍්‍රීඩා පරිපාලනය තහනම් කිරීමත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ පුරප්පාඩු වූ අසුන පිළිබඳව මේ වනවිට දැඩි කථාබහක් නිර්මාණ වී තිබේ. සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව ආසන්නතම සභාපති යන තනතුර පරිදි ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළේය. ඒ අනුව එම පුරප්පාඩුව ආසන්නතම සභාපතිවරයකුගෙන් පියවිය යුතු බව ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳ දැනුමැත්තෝ පවසති.

සුමතිපාල මහතාට පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ආසන්නතම සභාපතිවරයා ඊට පෙර පැවැති අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතාය. පුරප්පාඩුව පිරවීමේදී පළමුවෙන්ම ඒ මහතා පිළිබඳව අවධානය යොමුකළ යුතුව තිබේ. වෙත්තමුණි මහතා විධායක කමිටුවට පැමිණීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඊටත් පෙර සභාපති ධූරය දැරූ ජයන්ත ධර්මදාස මහතා පත්කළ යුතුය. 

සිදත් වෙත්තමුණි මහතාගෙන් මේ පිළිබඳව ‘දේශය’ කළ විමසුමකදී පැවසුවේ තමන් ක‍්‍රිකට් විධායක කමිටුවට නොඑන බවයි. “මම එන්නේ නෑ. ඔය කමිටුවත් එක්ක වැඩකරන්න මම එන්නෙ නෑ” ලෙස වෙත්තමුණි මහතා වැඩිදුරටත් පැවසීය. 

එය එසේ වුවහොත් ජයන්ත ධර්මදාස මහතාට විධායක කමිටුවට පැමිණීමට අවස්ථාව තිබේ. ධර්මදාස මහතා විධායක කමිටුවට පත්වීමට නම් විධායක කමිටු සාමාජිකයකු ඒ මහතාගේ නම යෝජනා කළ යුතුය. තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වයෙන් යුත් විධායක කමිටුවේ කිසිවකු ධර්මදාස මහතාගේ නම යෝජනා කිරීමට ඉදිරිපත් වනු ඇතිද යන්න සැකසහිතය.

‘රණතුංග’ පාර්ශ්වයෙන් විධායක කමිටුව නියෝජන කරන කේ. මතිවානන් මහතාට එම යෝජනාව කළ හැකිය. එම යෝජනාවට විධායක කමිටුවේ සෙසු සාමාජිකයන්ගේ සහයෝගය පළවේද?

 වරකාගොඩ ගමගේ