2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ඔස්ට්‍රේලියානු තරගාවලියට තරුණ ජවයට වැඩි බරක්...

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 217

වර්තමාන ලෝක ක‍්‍රිකට් පිටියේ වඩාත් ප‍්‍රචලිත අධිවේගී අංශය වන විස්සයි20 ක‍්‍රිකට් ක‍්‍රීඩාවට තරුණ ජවය වඩාත් තීරණාත්මක සාධකයක් බව පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකා පිල 3x0 කින් ජය ගැනීමෙන් වඩාත් පැහැදිලි විය. අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා තේරීම් කමිටුව එයම හේතුව බවට පත්කරගනිමින් එළඹෙන ඕස්ටේ‍්‍රලියානු විස්සයි20 තරගාවලියට තරුණ ජවයෙන් වැඩි කණ්ඩායමක් මේ වනවිට නම් කර තිබේ. 

පාකිස්තානු සංචාරයට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කළ ක‍්‍රීඩකයන් දසදෙනාගෙන් නායක ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරා සහ ආබාධයකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් පමණක් මෙම සංචිතයට කැඳවා තිබුණි. මෙම සංචිතයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයන් 16 දෙනාගෙන් තිදෙනකු පමණක් වයස 30 ක් ඉක්මවූ අය වෙති. සෙසු 13 දෙනා වයස 30 ට අඩු වැඩි ජාත්‍යන්තර තරග වැඩි සංඛ්‍යාවකට සහභාගි නොවූ ක‍්‍රීඩකයෝ වෙති. 

නායක ලසිත් මාලිංග, වේගපන්දු යවන්නන් වන නුවන් ප‍්‍රදීප් සහ ඉසුරු උදාන පමණක් වයස 30 ඉක්මවූවෝ වෙති. මෙම සංචිතය තේරීමට දිනකට පෙර තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පැවසුවේ අකිල ධනංජය නොමැති වීමෙන් හිස්වන පිට දඟපන්දු යවන්නාගේ ස්ථානයට ධනංජය ද සිල්වා ගේන බවය. කෙසේ වෙතත් එම ස්ථානයට තුන් ඉරියව් ක‍්‍රීඩක ෂෙහාන් ජයසූරිය ආදේශ කිරීමට අවසන් මොහොතේ තේරීම් කමිටුව පියවර ගත්තේය. එය වඩාත් ප‍්‍රයෝජනත් තීරණයකි. 

යොවුන් ක‍්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පිට දඟපන්දු යවන්නාගේ ස්ථානයට යෙදවීමට තේරීම් කමිටුවේ අදහසක් තිබුණද මෙම සංචාරය ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වීම හේතුවෙන් එය අතහැර දැමීමට තීරණය කර තිබුණි. මෙහි කැපී පෙනෙන සිද්ධියක් බවට පත්වූයේ අවසන් විස්සයි20 සංචාරයේදී පළමුවරට උප නායකත්වයට නම් කර සිටි නිරෝෂන් දික්වැල්ල සාමාන්‍ය ක‍්‍රීඩකයකු ලෙස නම් කරමින් උප නායකත්වය හිස්ව තැබීමය. මෙම කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලට ස්ථානයක් ලැබීමද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි. දික්වැල්ලට ඉදිරිපෙළ පිතිකරුවන් පස්දෙනා අතර ස්ථානයක් සොයා ගැනීම මේ වනවිට අපහසුවී තිබේ.

“දික්වැල්ල ගහනවා නම් මුල් පස්දෙනා අතර ඉන්න  ඕනේ. ඔහුට නොම්මර හය ගහන්න බෑ. ඒ නිසා කණ්ඩායමේ ස්ථානයක් ලැබෙයිද කියන එක සැකයි. ඒකයි අපි උප නායකත්වයට පත් නොකළේ. උප නායකයාට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් තිබිය යුතුයි” යැයි තේරීම් කමිටු සාමාජිකයෙක් ‘දේශය’ට පැවසීය. 

පාකිස්තානු සංචාරයේදී විස්සයි2-0 පිලේ නායකත්වය දැරූ දසුන් ශානක අනාගත නායකත්වයට පත්කිරීමට උපනායකත්වය ඔහුට පැවරීමේ සැලැස්මක් තිබෙනවාට සැකයක් නැත. එය වඩාත් ප‍්‍රශස්ථ තීරණයක් වේ. ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 237 ක් ලබා විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ මේ වනවිට හත්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා සිටින අතර මෙම තරුණ කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ පෙරළියක් කළහොත් වැඩි ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවක් එකතුකර ගැනීමේ අවස්ථාව තිබේ. ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 261ක් ලබා ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාවට ඉහළින් හයවැනි ස්ථානයේ සිටින නවසීලන්ත ප‍්‍රසාද ලකුණු 253 ක් ලබා සිටියි. 

ශ්‍රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් පිල ලබන සඳුදා ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යෑමට නියමිතය. දෙරට අතර පළමු විස්සයි20 තරගය මේ මස 27 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:

ලසිත් මාලිංග (නායක), අවිෂ්ක ප‍්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්‍ෂ, ඕෂධ ප‍්‍රනාන්දු, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප්, කසුන් රාජිත සහ ළහිරු කුමාර

 සටහන: භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00