2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ජය පෙනි පෙනී පරදින කලාව !

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 139

නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා විස්සයි20 පිල අත්දැකීම් සපිරි ක‍්‍රීඩකයන්ගේ ඌණතාවයෙන් පෙළෙන බව තරග දෙකේදීම ප‍්‍රදර්ශනය විය. මෙම සටහන තබන මොහොත වනවිට ශ්‍රී ලංකා පිල පළමු තරග දෙකම පරාජයට පත්ව තරගාවලියද පරාජයට පත්ව හමාරය. තෙවැනි සහ අවසන් තරගය පසුගිය සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබුණි.

පළමු තරග දෙකේදීම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ දුර්වලතාව නවසීලන්ත පිලට ප‍්‍රසාද දීමනාවක් බඳුවිය. දෙවැනි තරගයේ නවසීලන්ත ඉනිමේ අවසන් ඕවරයේ තෙවැනි පන්දුවේදී ෂෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් හතරේ සීමාව අසල උඩ පන්දුවක් රැකගැනීමේදී ගැටීමෙන් දෙදෙනාම තුවාල ලැබූහ. ෂෙහාන් ජයසූරිය උඩ පන්දුව රැකගත් අතර ෂෙහාන්ගේ ශරීරයේ කුසල් මෙන්ඩිස් ගැටීමෙන් උඩ පන්දුව බිම පතිත වූ අතර එය හයේ පහරක් ලෙස සටහන් විය. 

වනිඳු හසරංග අවසන් ඕවරය ආරම්භ කරන විට නවසීලන්තයට ජයග‍්‍රහණයට ලකුණු 7ක් අවශ්‍යව තිබූ අතර පළමු පන්දු දෙකේදී කඩුලු දෙකක් බිඳ වැටුණි. ෂෙහාන් එම උඩ පන්දුව රැකගත්තේ නම් අවසන් පන්දු තුනට ලකුණු 7ක් රැස්කිරීමට සිදුවේ. එහෙත් ලසිත් මාලිංග පළමු තරගයේදී නායකයා ලෙස දැඩි දුර්වල තත්ත්වයක් ප‍්‍රදර්ශනය කළේය. එම තරගයේදී මාලිංග පන්දු යවන්නන් යොදාගත් ආකාරය සාර්ථක නොවීය.

මෙහිදී මාලිංගට උපදෙසක් ලබාදීමට වෙනත් අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් නොමැතිවීම කැපී පෙනුණි. ඉසුරු උදාන සහ කුසල් ජනිත් පෙරේරා පමණක් උපදෙස් දියහැකි අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් වුවද මාලිංග ඒවා කනට ගන්නවාද යන්න සැකසහිතය. ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු තරගයේදී රැස්කළ ලකුණු 174 ආරක්‍ෂා කරගැනීමට නායක මාලිංග ඇතුළු පන්දු යවන්නන් අසමත් වීම තුළින් එය පැහැදිලි විය.

පළමු තරඟයේඳී නයසීලන්ත පිලට අවසන්  ඕවර දෙකට ලකුණු 18 ක් රැස්කිරීමට තිබියදී මාලිංග 19 වැනි  ඕවරය ක‍්‍රියාත්මක කළේය. මාලිංගගේ එම ඕවරයට ලකුණු 15 ක් රැස්කිරීමෙන් නවසීලන්ත ජයග‍්‍රහණය පහසු විය. ඉසුරු උදාන යැවූ අවසන් ඕවරයේ පළමු පන්දු තුනෙන්ම ජයග‍්‍රහණය තහවුරු විය. 

මාලිංග 19 වැනි ඕවරය යැවීම ඔහුගේ පන්දු යැවීමේ සැලැස්මේ වැරැද්දේ ප‍්‍රතිඵලයක්ද යන්න සැකසහිතය. ඉසුරු උදාන 18 වැනි ඕවරය යැවීම නිසා මාලිංගට 20 වැනි  ඕවරය දක්වා බලා සිටීමට නොහැකි විය. නිවැරදිව සැලසුම් කළේ නම් ඉසුරු 19 වැනි ඕවරය යවා මාලිංගට 20 වැනි ඕවරය යැවීමේ අවස්ථාව තිබුණි. මාලිංග අත්දැකීම් ඇති පන්දු යවන්නා නිසා සාමාන්‍ය තත්ත්වය නම් අවසන් ඕවරය යැවිය යුත්තේ මාලිංගය.

නවසීලන්ත පිල ලකුණු 39 ක් ලබා සිටියදී අටවැනි  ඕවරයේ දෙවැනි පන්දුවේදී තෙවැනි කඩුල්ල බිඳ වැටුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමට ශ්‍රී ලංකා පිල අසමත් විය. එම අවස්ථාවේදී කසුන් රාජිත කැඳවනවා වෙනුවට දඟපන්දු යවන්නකු කැඳවූයේ නම් පීඩනය යොමු කිරීමට හොඳ අවස්ථාවක් ‍ත‍බුණි. එම අවස්ථාවේදී පිට දඟ පන්දු යවන ෂෙහාන් ජයසූරිය කැඳවූයේ නම් තත්වය  එසේ වීමට ඉඩ තිබුණි. ෂෙහාන් පස්වැනි ඕවරය යවා ලකුණු 10 ක් ලබාදුන් අතර ඉන්පසුව ඔහුට පන්දු යැවීමේ අවස්ථාව ලබා දුන්නේ නැත.   

අකිල ධනංජය 12 වැනි ඕවරය යවමින් ලකුණු 17ක් ලබාදීමෙන් නවසීලන්ත පිතිකරුවන් දෙපළ පීඩනයෙන් මෑත්වූහ. පළමු තරගයේදී වනිඳු හසරංගගේ පන්දු යැවීම කැපී පෙනුණු අතර ඔහු පන්දුවේ වේගය වඩාත් අඩාල කරමින් වඩාත් උපායශීලීව පන්දු යැවූ ආකාරය දැකගත හැකි විය.

මාලිංග සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් එකතුව තෝරාගත් කණ්ඩායම දැඩි ආධුනික බවක් ප‍්‍රදර්ශනය කරන අතර මෙම කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරවිය හැකිද යන්න කීපවරක් සිතා බැලිය යුතුය.   

I වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00