2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

බෝඩ් ලෑලි සංගම්වලට එරෙහි විරෝධය යට ගැසූ දැල් පන්දු නිලවරණය

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය සතියේ බොහෝ දෙනකුගේ දැඩි අවධානයට ලක්විය. ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා තමන් පත්කළ අභියාචනා කමිටුවේ නිර්දේශය පසකට විසිකර පසුගිය බදාදා දැල්පන්දු නිලවරණය පැවැත්වීම වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්විය.

වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය ඉදිරිපත් කළ විරෝධතාවට අනුව දැල්පන්දු නිලවරණය පැවැත්විය නොහැකි බවට ක‍්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අභියාචනා කමිටුව නිර්දේශ ලබාදුන්නේය. සංජීවනී වනසිංහ මහත්මිය සභාපතිත්වය දරන වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය පළමුවෙන්ම නිලවරණ කමිටුවට විරෝධතාවක් ඉදිපත් කරමින් පැවසුවේ ක‍්‍රීඩා නීතියට අනුව දැල්පන්දු නිලවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට හිමිකම් ඇත්තේ දිස්ත‍්‍රික් සහ අනුබද්ධ සංගම් 33න් සංගම් තුනකට පමණක් බවයි. ක‍්‍රීඩා නීතියට සහ දැල්පන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය, බදුල්ල දිස්ත‍්‍රික් දැල්පන්දු සංගමය සහ රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය පමණක් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවත් ඒ හේතුවෙන් එම සංගම් තුනට පමණක් ඡන්ද හිමිකම් ලැබිය යුතු බවයි.

සෙසු දිස්ත‍්‍රික් සහ අනු සංගම් 30 තරගාවලිය නොපැවත්වීම වැනි සුදුසුකම් සම්පූර්ණ නොකිරීමෙන් ‘බෝඩ් ලෑලි’ ක‍්‍රිඩා සංගම් බවට එහිදී වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය පෙන්වා දී තිබිණි.

එම තත්ත්වය හමුවේ දැල්පන්දු නිලවරණය පැවැත්විය නොහැකි බවත් ඒ හේතුවෙන් නිලවරණය කල්දමන ලෙසත් එහිදී වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය ඉල්ලා සිටියේය. නිලවරණ කමිටුව එම විරෝධතාව ප‍්‍රතික්ෂේප කරමින් නිලවරණය පැවැත්විය යුතු බවට නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය අභියාචනාවක් ඉදිරිපත් කළේය. ක‍්‍රීඩා ඇමතිවරයා පත්කළ එම අභියාචනා කමිටුවේ නිර්දේශය වූයේ වෙළෙඳ සේවා දැල්පන්දු සංගමයේ විරෝධතාව සාධාරණ බවත් ඒ හේතුවෙන් නිලවරණය අත්හිටුවිය යුතු බවයි.

දැල්පන්දු සම්මේලන නිලවරණයේදී එළියට පැමිණි ‘බෝඩ් ලෑලි’ ක‍්‍රීඩා සංගම් යනු ශ්‍රී ලංකාවේ බොහෝ එසේත් නැත්නම් සියලුම ක‍්‍රීඩා සංගම්වලට පොදු තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ ජනප‍්‍රියම සහ වැඩිම වත්කමක් ඇති ක‍්‍රීඩාව වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිලවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කරන බොහෝ ක‍්‍රීඩා සමාජ ‘බෝඩ් ලෑලි’ ක‍්‍රිඩා සංගම් ගණයට වැටේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් ක‍්‍රීඩා සමාජ වසර ගණනාවකින් තරගාවලියක් පවත්වා නැත. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ඇතැම් ක‍්‍රීඩා සමාජ ද එසේමය. කෙසේ වෙතත් දැල්පන්දු නිලවරණය පැවැත්වීමෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා නරක ආදර්ශයක් ලබා දී තිබේ. තමන් විසින් පත්කරන ලද අභියාචනා කමිටුවේ නිර්දේශය තඹ දොයිතුවකට මායිම් නොකිරීම ඇමතිවරයා තමන්වම හෑල්ලූවට ලක්කරගැනීමකි.

මෙම නිලවරණයේදී ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය නිතරගයෙන් සභාපතිනිය ලෙස පසුගිය බදාදා පත්වූවාය. සංජීවනී වනසිංහ මහත්මිය නිලවරණය අවස්ථාවේ ඉල්ලා අස්විය. 

වසර ගණනාවක් සිට ‘ළිඳ ළඟ සංගමය’ බවට පත්ව තිබෙන ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලන පරිපාලනය ඉදිරියේදී වඩාත් ව්‍යාකූල වීම වැළැක්විය නොහැක. 

ජාතික දැල්පන්දු පුහුණුකාරිනි තිලකා ජිනදාස මහත්මියගේ තනතුර සම්බන්ධයෙන් ද මේ වන විට ප‍්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. ඊළඟ ආසියානු දැල්පන්දු ශූරතාවලිය දක්වා තමන් කාලය ඇතැයි ජිනදාස මහත්මිය පැවසුව ද ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් නව පාලනය ඇයගේ සේවය අවසන් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. 

I භාසුර

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00