2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ක්‍රිකට් තේරීම් කමිටුවේ ඔක්කොම වැරදි බ්‍රෙන්ඩන් - හේමන්ත පිටින් යවයි

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 193

“පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වැනි යැයි” ශ්‍රී ලංකා ජනවහරේ ප‍්‍රස්ථාපිරැලක් තිබේ. ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාට එම ප‍්‍රස්ථාපිරුල මේ දිනවල වඩාත් ගැළපෙයි. ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අසාර්ථකත්වයට අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව වගකිවයුතු යැයි පවසමින් එහි සාමාජිකයන් දෙදෙනකු පමණක් ඉවත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළිවිය. 

සිව්දෙනකුගෙන් යුත් තේරීම් කමිටුවෙන් බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික‍්‍රමරත්න යන මහත්වරුන් පමණක් ඉවත් කිරීමට කටයුතු කළ ක‍්‍රීඩා අමාත්‍යවරයා විනෝදන් ජෝන් මහතා නව සාමාජිකයකු ලෙස පත්කර තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වර්තමාන ඇද වැටීමට අවසන් වසර හත අටක කාලය තුළ ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවල සභාපතිවරුන් සහ ඒවායේ සාමාජිකයෝද හරි හරියට වගකිව යුතුය. එම චෝදනාවෙන් අදාළ කිසිදු පුද්ගලයකුට කර හැරිය නොහැක. 
එංගලන්තයේදී මීට මාසයකට පමණ පෙර අවසන් වූ එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අසාර්ථකත්වයට අසන්ත ද මෙල් ප‍්‍රමුඛ තේරීම් කමිටුව අනිවාර්යයෙන්ම වගකිව යුතුය. එහිදී බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික‍්‍රමරත්න යන දෙදෙනා පමණක් ඉවත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. තේරීම් කමිටුව යනු කමිටුවකි. එසේ නැත්නම් තනි ඒකකයකි. තේරීම් කමිටුවේ තීරණ සාමූහික තීරණ වන අතර සාමුහික තීරණවල වගකීම දෙදෙනකුට පමණක් පැවරිය හැක්කේ කෙසේද? 

ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වය මත ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉවත්කළ යුතු යැයි උඩ පනින ක‍්‍රීඩා අමාත්‍යවරයාට අසන්ත ද මෙල් සම්බන්ධව පවතින සෙනෙහෙවන්තකම කුමක්ද යන්න අපහැදිලිය. ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වය මත සම්පූර්ණ තේරීම් කමිටුවම ඉවත් කළ යුතුය. විශේෂයෙන්ම එහි ප‍්‍රධානියා වන අසන්ත ද මෙල් ඉවත් කළ යුතුය. නමුත් එවැනි දෙයක් සිදු නොවීය.

ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන සහ ජෙෆ්රි වැන්ඩසේ ලෝක කුසලාන සංචිතයට හිටිහැටියේ පාත්වීම පිටුපස තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් අනිවාර්යයෙන්ම සිටිය යුතුය. සෙසු සාමාජිකයන්ට එවැනි තීරණයක් ගැනීමට බලයක් හෝ අවස්ථාවක් නොමැති බව ඉතාමත් පැහැදිලිය. අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවේ සාමූහික තීරණ තිබෙනවාද යන්නද සැකසහිතය. අතීතය දෙස බැලීමේදී අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපතිවරයකු ලෙස කළ විශේෂ දෙයක් නොමැත. 

ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සේවයක් කළ හිටපු වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර පිළිබඳ නොදන්නා සේ මාධ්‍යයට පිළිතුරැ දීමට තරම් කෙරුමෙකු වූ අසන්ත මෙල් තවදුරටත් තියාගතහොත් අකිල ධනංජය, දිනේෂ් චන්දිමාල් වැනි සම්පත් රැකගැනීමද අපහසුවනු ඇත. 

 යොහාන් භාසුර