2019 ජුනි 29 වන සෙනසුරාදා

දකුණු අප්‍රිකාවේ ඇද වැටීම: බංග්ලාදේශයේ ඉදිරි ගමන

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

දකුණු අප‍්‍රිකාවට ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි අපල ගෙන දෙන බවට ඉතිහාසයේ  ඕනෑතරම් සාක්‍ෂි තිබේ. එම සාක්‍ෂි ගොන්නට තවත් පරිච්ජේදයක් එකතු කරමින් එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම දකුණු අප‍්‍රිකාව පසුගිය ඉරිදා ඉවතට විසිවිය.

දකුණු අප‍්‍රිකාව ඉරිදා (23 වැනිදා) පාකිස්තානය හමුවේ ලැබූ ලකුණු 49ක පරාජයත් සමගින් මෙවර තරගාවලියේ තරග හතකදී පස්වැනි පරාජයේ අමිහිරි අත්දැකීම් විඳදරා ගැනීමට සිදුවිය. එම තරගයෙන් පසුව දකුණු අප‍්‍රිකානු පිලේ නායක ෆෆ් ඩූ ප්ලීසිස් පැවසුවේ මෙය ඉතාමත් අපහසු අවස්ථාවක් බවයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග 45න් තරග 31ක් අවසන් වනවිට දකුණු අප‍්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය තරගාවලියෙන් ඉවතට විසිවී අවසන්ව තිබුණි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර අවසන් පූර්ව වටයට පැමිණෙන කණ්ඩායම් පිළිබඳ අනාවැකි පළකිරීම්වලදී ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල ඉහළින් සිටියේය. ඒ හේතුවෙන් දකුණු අප‍්‍රිකාව පළමු වටයේ තවත් තරග 14ක් ඉතිරිව තිබියදී ඉවත විසිවීමෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අවිනිශ්චිත බව නැවතත් ප‍්‍රදර්ශනය විය. දකුණු අප‍්‍රිකානු පිලට ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට සහ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරග දෙක පමණක් ඉතිරිව ඇති අතර ප්ලීසිස්ගේ සැලැස්ම බවට පත්ව ඇත්තේ එම තරග දෙක හෝ ජය ලබා සිතට සහනයක් ලබාගැනීමය. 

බංග්ලාදේශය තවදුරටත් ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්ව සිටියේය. බංග්ලාදේශය පසුගිය සතියේ සදම්ටන්හිදී ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව හතක් බවට පත්කරගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයට පැමිණියේය. බංග්ලාදේශ පිලට ඉන්දියාව සහ පාකිස්තානයට එරෙහිව තරග දෙක ඉතිරිව ඇති අතර බංග්ලාදේශය එම තරග දෙකම ජය ලැබුවහොත් අවසන් පූර්ව වටයට පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමේ අවස්ථාව තිබේ.

බංග්ලාදේශ පිලේ ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකුර් රහීම් මේ දක්වා බංග්ලාදේශ පිලේ ප‍්‍රබලතම චරිත දෙක බවට පත්ව සිටිති. ඔවුන් නිරන්තරයෙන් ලකුණු අතර සිටීම සෙසු කණ්ඩායම්වලට අභියෝගයකි. ශකීබ් අල් හසන් තරග හයකදී ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 476 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභීන් අතරට පත්ව සිටියේය. ඊට අමතරව ශකීබ් කඩුලු 10 ක් දවාගෙන තිබුණි.

නවසීලන්තය මේ දක්වා වඩාත් කැපී පෙනෙන කණ්ඩායම බවට පත්ව සිටියි. නවසීලන්තය සහභාගි වූ තරග හයෙන් පහක් ජය ලබා අපරාජිතව ප‍්‍රසාද ලකුණු 11ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියි. නවසීලන්තයට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ඉතිරි තරග තුනෙක් එකක් ජය ලැබීම ප‍්‍රමාණවත්ය.

ඕස්ට්‍රේලියාව  එංගලන්තය පරදවමින් අවසන් පූර්ව තරගවලට මුලින්ම සුදුසුකම් ලැබූ රට බවට පත්විය. ඉන්දියාව සහ එංගලන්තය පිළිවෙළින් තෙවැනි ස්ථානයේ සහ සිවුවැනි ස්ථානයේ පසුවන අතර අවසන් පූර්ව වටයට පැමිණීමට මේ වනවිට තියුණු සටනක් නිර්මාණය වී ඇති අතර එය ඉදිරි සතියේ තවත් තියුණු වනු ඇති බවට විශ්වාස කළ හැකිය. ශ‍්‍රී ලංකාව දකුණු අප‍්‍රිකාවට එරෙහිව ඩර්හැම්හිදී පැවැත්වෙන තරගයෙන් ජය ලැබුවහොත් ඉදිරියෙන් සිටින කණ්ඩායම්වලට තවත් පීඩනයක් යොමු වේ. එසේ වුවහොත් ශ‍්‍රී ලංකාවට බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකෙන් එකක් ජය ලැබීමෙන් අවසන් පූර්ව වටයේ දොර විවෘත කරගැනීමේ අවස්ථාව තිබේ.

එංගලන්තය පසුගිය සතියේ ශ‍්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයත් සමඟ ඔවුන්ගේ තත්ත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්වූ බව තරගයෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වූ එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් පිළිතුරු සැපයූ ආකාරයෙන් පැහැදිලි විය. එහිදී මෝගන් බොහෝ ප‍්‍රශ්නවලට තනි වචනයෙන් පිළිතුරු සැපයූ ආකාරය දැකගත හැකිවිය.

එංගලන්තයට පසුගිය අඟහරුවාදා ඕස්ට්‍රේලියාව  හමුවේ ලැබූ පරාජයත සමඟ තවදුරටත් අවිනිශ්චිත විය. එංගලන්ත පිල ප‍්‍රබල කණ්ඩායම් තුනකට එරෙහිව තරග කිරීමට නියමිතව තිබීම නිසා ශ‍්‍රී ලංකාවට එරෙහිව තරග ජය ලබා ප‍්‍රසාද ලකුණු 10ක් සමඟින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිට එම තරගවලට මුහුණ දීමට සැලසුම්කර තිබුණද එය මඟහැරුණි. සත්කාර ලොව අංක එකේ එක්දින කණ්ඩායම වන එංගලන්තය ඉදිරි තරග තුනම පරාජයට පත්වුවහොත් අවසන් පූර්ව වටය අහිමිවීමේ අවදානමකට ලක්වේ.

බටහිර ඉන්දීය කොදෙව් පිල තරගාවලිය ආරම්භයේදී යම් පිබිදීමක් ප‍්‍රදර්ශන කළද මේ වනවිට එම තත්ත්වය පහව ගොස් තිබේ. කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් දස්කම් අතරට නොපැමිණීම මෙම තත්ත්වයට වඩාත් හේතු වී තිබේ. කොදෙව් ප‍්‍රබල තුන් ඉදිරියව් ක‍්‍රීඩක ඇන්ද්‍රි රසල් ආබාධයකට ලක්ව තරගාවලිය අහිමිවීමද ඉදිරියේදී කොදෙව් පිලට බලපානු ඇත.

මෙම තත්ත්වය යටතේ පළමු වටයේ අවසන් සතිය වන ඉදිරි සතිය වඩාත් උණුසුම් වනවාට සැක නැත.  

 යොහාන් භාසුර,
     එංගලන්තයේ ඩර්හැම් සිට...