2019 ජුනි 08 වන සෙනසුරාදා

ජාතික ඔලිම්පික් කමිටුවේ බල අරගලය යළි කරළියට

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 117

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩාවේ වඩාත්ම වගකීම් සහිත සහ බලවත් ආයතනයක් වන ශ්‍රී ලංකා ජාතික  ඕලිම්පික් කමිටුවේ බල අරගලය පසුගිය සතියේ නැවතත් කරළියට පැමිණියේය. ජාතික ඔලිම්පික් කමිටුව තුළ ‘හේමසිරි ප‍්‍රනාන්දු’ පාර්ශ්වය සහ ‘රොහාන් ප‍්‍රනාන්දු’ පාර්ශ්වය අතර කාලක සිට පවතින බල අරගලය ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට දැඩි හානියක් බව අමුතුවෙන් කිවයුතු නැත. 

මෙම අරගලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, ක‍්‍රීඩා සංගම්, ක‍්‍රීඩා නිලධාරීන් ඇතුළු ක‍්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙක් මැදිහත්ව සිටිති. ඒ හේතුවෙන් ඇතැම් ක‍්‍රීඩාවලට පදමට පහසුකම් ලැබුණද ඇතැම් ක‍්‍රීඩාවලට කුඩම්මාගේ සැලකිල්ල හිමිවිය. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයේ පිට පිටම සිවුවරක් එසේත් නැත්තනම් වසර 20 කට ආසන්න කාලයක් කටයුතු කළ හේමසිරි ප‍්‍රනාන්දු මහතා පසුගිය නිලවරණයට තරග නොකළද ඒ මහතාගේ සහයෝගය ඇතිව සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා සභාපති ධූරයට පත්විය.

ශ්‍රී ලංකාවේ නමගිය ජාතික ක‍්‍රීඩා සංගම් නියෝජිතයන් වන ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු, ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති මේජර් ජනරල් පාලිත ප‍්‍රනාන්දු සහ ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමයේ සභාපති කොමදෝරු එච්.යූ. සිල්වා යන මහත්වරු ටොරින්ටන්හි පිහිටි ‘ඔලිම්පික් නිවසේදී’ පසුගිය සෙනසුරාදා පැවැති විශේෂ මහා සභා රැස්වීම වර්ජනය කරමින් ඉවත්ව ගියහ.
එහිදී එම තිදෙනා ක‍්‍රීඩා සංගම් තුනක් ඔලිම්පික් කමිටුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් විරෝධය පළ කළහ. එහිදී ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසුවේ 2017 වසරේ ගිණුම් වාර්තා සම්මත කරගැනීමට මෙම විශේෂ මහ සභාව පැවැත්වූ බවයි. මෙම වසරේ මැයි මස 2017 වසරේ ගිණුම් සම්මත කිරීම කොතරම් නීත්‍යානුකූල ද එසේ නැත්නම් ප‍්‍රායෝගික ද, යන්න ක‍්‍රීඩා බලධාරීන් තීරණය කළ යුතුය. 

මෙම විශේෂ මහ සභා රැස්වීමේදී හේමසිරි ප‍්‍රනාන්දු මහතාට යාවජීව සභාපති ධූරයක් ද, ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ වර්තමාන ලේකම්වරයා වන ශ්‍රී ලංකාව ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩා පරිපාලකයකු වන ප්‍රේමා පින්නවල මහතාට යාවජීක සමාජික ධූරයක් ද, පිරිනැමිණි. මෙම විශේෂ තනතුරු දෙකත් සමඟ හේමසිරි සහ පින්නවල යන මහත්වරුන්ට ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව නියෝජනය කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමේ බලය හිමිවෙයි.

ජාතික ඔලිම්පික් කමිටුව වසර ගණනාවක සිට මුදල් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආයතනයක් වන අතර වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා එහි පසුගිය වසරවල මුදල් කටයුතු සම්බන්ධයෙන් විගණනයක් කරන බව පැවසුවද එය තවමත් වචනවලට සීමාවී තිබේ. 

රොහාන් ප‍්‍රනාන්දු පාර්ශ්වය ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු අධීක්‍ෂණයට යැයි කියමින් නව සංවිධානයක් පිහිටුවාගෙන ඇති අතර එම සංවිධානය පිළිබඳව වර්තමාන පාලනය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුවත්කර ඇති බව ද දැනගන්නට තිබේ. 

 වරකාගොඩ ගමගේ