2019 මැයි 11 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන පෙරහුරුව

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 261

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය අඟහරුවාදා (07) දිවයිනෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගයට දින 22 කට පමණ පෙර එංගලන්තයට ළඟා විය. 

කණ්ඩායම පිටත්ව යෑමට පෙර දින ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් පැවසුවේ තමන්ට කණ්ඩායමේ සියලුම දෙනාගේ සහයෝගය ඇති බවයි.

“මට සියලුදෙනාම උදව් කරනවා. මට අනිවාර් යෙන්ම එංගලන්තයට ගියාමත් සහයෝගය ලැබෙයි. මැතිව්ස් සහ මම පාසලේ ඉඳන් ක‍්‍රීඩා කරනවා. අපි දෙන්නා අතරේ හොඳ සම්බන්ධතාවක් තියෙනවා. ඔහු මට දැනටමත් හොඳ සහයෝගයක් දෙනවා.”

එහිදී දිමුත් වැඩිදුරටත් පැවසුවේ ලසිත් මාලිංගගේ සහයෝගයද තමන්ට ලැබෙන බවත් මාලිංග අයි.පී.එල්. තරගාවලියෙන් පසුව සංචිතයට එකතුවීමට නියමිත බවත්ය.

කිසියම් ක‍්‍රීඩකයෙක් නායකයාට සහයෝගය නොදක්වන්නේ නම් අදාළ ක‍්‍රීඩකයා කණ්ඩායමේ තබාගත යුතු නොවේ. මාලිංග එපා යැයි ක‍්‍රීඩකයන් බහුතරයක් ඉල්ලා සිටීම නිසා වසර හතරකින් එක්දින තරගයකට සහභාගි නොවූ දිමුත් නායකත්වයට පත්කළේ කණ්ඩායම එකමුතු කිරීම සඳහාය. තවදුරටත් කිසියම් ක‍්‍රීඩකයකු නායකයාට සහයෝගය නොදක්වන්නේ නම් ඔහුට එරෙහිව විනය පියවර ගැනීම පමා නොකළ යුතුය.  

මෙම මාධ්‍ය හමුවෙදී ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසුවේ මෙම කණ්ඩායම උපරිම දස්කම් ප‍්‍රදර්ශනය කළහොත් ලෝක කුසලාන තරගාවලියේ ලොකු දුරක් යා හැකි බවයි. 

“අපි මෙම තරගාවලියේදී ජයග‍්‍රහණය කරනවා යැයි කියන කණ්ඩායම් අතර නෑ. ඒක අපිට වාසියක් වෙන්නත් පුළුවන්. ප‍්‍රතිවාදීන් අපිව පහසුවට හිතනවා නම් එයින් ප‍්‍රයෝජනයක් ගන්න පුළුවන්” යැයි හතුරුසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. 
උපරිමය ප‍්‍රදර්ශනය කළහොත් දිගු ගමනක් යා හැකි යැයි හතුරුසිංහ මහතා අමුතුවෙන් කිවයුතු නැත. හතුරුසිංහ මහතාගේ කාර්යය සහ වගකීම බවට ඇත්තේ ක‍්‍රීඩකයන් තුළින් උපරිමය ලබාගැනීමට සැලසුම් සකස් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීමය. ඒ සඳහා ක‍්‍රිකට් ආයතනය ඔහුට මාසයකට රුපියල් ලක්‍ෂ 80 කට ආසන්න ගෙවීමක් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම 1996 වසරේ විල්ස් ලෝක කුසලාන තරගාවලිය ජය ලබන විටත් ශ්‍රී ලංකාව තුළ බෝම්බ පිපිරුණු බවත් ඒ දෙස බැලීමේදී මෙවර ලෝක කුසලාන තරගාවලිය ඊට සමාන බවත් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය. බෝම්බ බිය සමස්ත ලෝකයම වෙලාගෙන සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සියලුම කණ්ඩායම්වලට බෝම්බ භීතිය තියෙනවාට සැක නැත.

ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය ද තම කණ්ඩායමට විශේෂ ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තය ඇතුළු කෙටියෙන්ම කිවහොත් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් දහයටම ත‍්‍රස්තවාදී තර්ජනය එක සේ තිබේ.   
ශ්‍රී ලංකා පිල එංගලන්තයේදී පසුගිය සිකුරාදා සිට දින දහයක විශේෂ පුහුණු වැඩමුළුවකට සහභාගි වීමට නියමිතව සිටියේය. ඉන්පසුව ස්කොට්ලන්තයේදී පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතය.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේදී පුපුරා ගිය බෝම්බ වැල හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා පිලේ ආරක්‍ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබුණි. ඒ අනුව ඇමති ආරක්‍ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු කණ්ඩායම සමඟ එංගලන්තය බලා පිටත්ව යන බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

I වරකාගොඩ ගමගේ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00