2019 මාර්තු 23 වන සෙනසුරාදා

දික්වැල්ලට ටිකට් එක ඇදෙයි?

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 314

දකුණු අප්‍රිකාවට එරෙහිව පසුගිය අඟහරුවාදා පැවැති පළමු විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිල ‘සුපිරි’ ඕවරයේදී පරාජයට පත් විය. දකුණු අප්‍රිකාව ලැබූ එම ජයග්‍රහණය සුපිරි ජයග්‍රහණයක් යැයි කිව හැකිය. 

නිරෝෂන් දික්වැල්ලගේ කඩුලු රැකීමේ හැකියාව සහ නිවැරදිම තීරණය හැකි ඉක්මනින් ගැනීමේ හැකියාව මීට වඩා ඉහළ මට්ටමක තිබුණේ නම් මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණක තියුණු ජයක් ලැබීමේ හැකියාව තිබුණි. 

දකුණු අප්‍රිකානු පිලට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු දෙකක් ලබාගැනීමට තිබියදී කඩුලු රකිමින් සිටි දික්වැල්ල අතට පන්දුව ගිය අවස්ථාවේදී පන්දුව රැගෙන කඩුල්ල වෙත පැමිණ කඩුල්ල බිඳ දැමුවේ නම් ලකුණ එකතු නොවේ. 
දික්වැල්ල තරගය ආරම්භයේ සිටම කඩුලු රැකීමේ දුර්වලතාවක් ප්‍රදර්ශනය කළ අතර ෆෆ් ඩුප්ලෙසි ලකුණු හතක් ලබා සිටියදී දික්වැල්ලට ලැබුණු පහසු ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ගිලිහී ගියේය. ඩුප්ගෙසි ඉන් පසුව තවත් ලකුණු 14ක් රැස් කළේය. 
දික්වැල්ලගේ කඩුලු රැකීම පිළිබඳව තේරීම් කමිටුව ද එතරම් සතුටුදායක තත්ත්වයක නොසිටියි. ඒ හේතුවෙන් තේරීම් කමිටුව මේ වනවිට විකල්ප සොයමින් සිටියි. 

ඒ පිළිබඳව තේරීම් කමිටු නිලධාරියෙක් ‘දේශය’ට මෙසේ අදහස් දැක්වීය. 

“දික්වැල්ල පිළිබඳව අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි අවසන් එක්දින තරගයේදී කුසල් මෙන්ඩිස් කඩුලු රැක්කේ. නමුත් කුසල් තමයි අංක තුන හෝ හතර පන්දුවට පහර දෙන්නේ. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. සදීරත් කඩුලු රකින්නෙක්. චන්දිමාල්වත් අපි අතහැරලා නෑ. අපිට කිසිම ක්‍රීඩකයෙක් එක්ක පෞද්ගලික ප්‍රශ්න නෑ. චන්දිමාල් පළාත් තරගාවලියේදී නායකයෙක් ලෙස කටයුතු කරනවා. ලකුණු ගැහුවොත් ඔහුවත් බලනවා. නායකයා පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි පළාත් තරගාවලියේදී හොඳම නායකයා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා.”

දිනේෂ් චන්දිමාල් යනු කණ්ඩායමේ එළියේ සිටින වඩාත් අත්දැකීම් ඇති කඩුලු රකින්නාය. චන්දිමාල් සහ දික්වැල්ල සැසඳීමේදී කඩුලු රැකීමේ අංශයෙන් චන්දිමාල් වඩාත් ඉදිරියෙන් සිටියි. පිතිකරුවකු ලෙස ද, දික්වැල්ල චන්දිමාල්ට සමකළ හැකි යැයි අපි විශ්වාස නොකරන්නෙමු. ඒ හේතුවෙන් ලෝක කුසලානයට කණ්ඩායම තේරීමේදී චන්දිමාල් පිළිබඳව සලකා බැලීම ජාතික අවශ්‍යතාවයකි.

සදීර සමරවික්‍රම අන්තර්සමාජ තරගාවලියේදී කෝල්ට්ස් පිලේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා පිල ‘සුපිරි’ ඕවරයේ පන්දුවට පහර දීමට තිසර පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු යෙදවීම ද එතරම් සාර්ථක තීරණයක් නොවන බව බොහෝ දෙනකුගේ අදහසයි. කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් එම ඕවරයට යෙදවූයේ නම් මීට වඩා සාර්ථක වීමට ඉඩ තිබූ බව බොහෝ දෙනා විශ්වාස කරති. 

ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 134ක් රැස් කරමින් ‘සුපිරි’ ඕවරය දක්වා පැමිණි මෙම තරගයේදී ලසිත් මාලිංගගේ සහ ඉසුරු උදානගේ පන්දු යැවීම වඩාත් කැපී පෙනුණි. ඉසුරු උදාන අවසන් ඕවරයේදී වේගය අඩාල කරමින් පන්දු යවමින් ලකුණු පහක් රැක ගත්තේය. 

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ විසිල් එක ගැසූ සැණින් බල්ටිය ගසන බල්ටිකරුවන්ය. එසේ නැතුව ක්‍රීඩක විවේකාගාරයේදී වීරයන් වන ක්‍රීඩකයන් නොවේ.     
 

 යොහාන් භාසුර