2019 මාර්තු 16 වන සෙනසුරාදා

අමාත්‍යංශ මුදලින් හොර පාරෙන් යන ක්‍රීඩා සවාරි නවත්වයි?

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

පෞද්ගලික ක‍්‍රීඩා සංචාර සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් සහ ගුවන් ප‍්‍රවේශපත් ලබාගැනීමේ මාෆියාව අද ඊයෙක නොව වසර ගණනාවක සිට ක‍්‍රියාත්මක වන මගඩියකි. මෙම මගඩියට ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම් උසස් නිලධාරීහුද හරි හරියට සම්බන්ධව සිටිති. මෙම මුදල් ලබාදීමේ රඟ වසරක් අවසානයේ ක‍්‍රීඩා අමාත්‍යංශය නිකුත් කරන වාර්ෂික මුදල් වාර්තාවෙන් බලාගත හැකිය. ඒ වනවිට පෙරහර ගොස් අවසන්ය.

මෙම මගඩියට වැට බැඳීමේ පියවරක් ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශය පසුගියදා ජාතික තේරීම් කමිටුව තේරීම් නොකරන කිසිදු ක‍්‍රීඩා කණ්ඩායමකට අනුමැතිය නොදීමටත්, දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල අවසන් වනතෙක් කිසිදු ක‍්‍රීඩා කණ්ඩායමකට අනුග‍්‍රහය නොදැක්වීමටත් තීරණය කළේය. 

මෙම පුද්ගලයෝ පළමුවෙන්ම පෞද්ගලික සංචාර යැයි පවසමින් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් අනුමැතිය ලබාගැනීමට කටයුතු කරති. ඉන්පසුව එම සංචාරයට අවශ්‍ය සියලු වියදම් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලති. ඉන්පසුව මගඩියේ තෙවැනි පියවර ක‍්‍රියාත්මක වේ. එහිදී ගුවන් ප‍්‍රවේශපත් පමණක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරයි. එම ඉල්ලීම අවස්ථාවේදී ක‍්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන්, සංචාරයට සහභාගි වන ඇතැම් පුද්ගලයන්ගේ ප‍්‍රදේශයේ ඇමැතිවරු හෝ මන්ත‍්‍රීවරු එසේ නැත්නම් උසස් රාජ්‍ය නිලධාරීන් හරහා බලපෑම් කිරීමද අරඹයි. 

මෙම ඇතැම් ක‍්‍රීඩා කණ්ඩායම්වලට ක‍්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගය ලබාගැනීම සඳහා ඇතැම් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂවරුන් සහ ඇතැම් ක‍්‍රීඩාවල ව්‍යාපෘති නිලධාරීන්ද රිංගවන බව තතු දන්නෝ පවසති. එවිට ක‍්‍රීඩා අමාත්‍යංශය තුළ සිටින නිලධාරීන් මේ සඳහා නිරායාසයෙන් ලිපිගොනුව රැගෙන අවශ්‍ය කටයුතු සඳහා අමාත්‍යංශයේ මහළෙන් මහළට ගමන් කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැමුන් එවැනි සංචාර සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයෙන්ද දීමනා ලබාගන්නා බව ක‍්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය අංශවල කියැවෙන බව දැනගන්නට තිබේ. එම බලපෑම ක‍්‍රීඩා අමාත්‍යවරයා දක්වා පැමිණෙන අතර එහිදී අමාත්‍යවරයාට කරදරයක් වූ විට ඔන්න ඕක බලන්න යැයි අමාත්‍යංශ ලේකම්වරයාට පවසන බවද දැනගන්නට තිබේ. මෙවැනි තත්ත්වයකට පත්වීමෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය පසුගියදා සවි එසවීමේ කණ්ඩායමකට  ඕස්ටේ‍්‍රලියානු සංචාරයක් සඳහා රුපියල් ලක්‍ෂ 11 කට ආසන්න ගුවනක් ප‍්‍රවේශපත් ලබාදී තිබේ. එම ක‍්‍රීඩාවටම මීට පෙර රුපියල් ලක්‍ෂ 45 ක පමණ වියදමක් ක‍්‍රීඩා අමාත්‍යංශය දරා ඇති බවද වාර්තා වේ.

මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් ක‍්‍රීඩා අමාත්‍යංශය ජාතික තේරීම් කමිටුව තේරීම් නොකරන කිසිදු ක‍්‍රීඩා කණ්ඩායමකට අනුමැතිය නොදීමටත්, දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල අවසන් වනතෙක් කිසිදු ක‍්‍රීඩා කණ්ඩායමකට අනුග‍්‍රහය නොදැක්වීමටත් තීරණය කළේය. “අනේ මේක මගේ වැඩක් පොඩ්ඩක් බලනවද?” යනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයාට තවත් අමාත්‍යවරයකුගෙන් හෝ හිතවතෙකුගෙන් ඇමතුමක් ලැබුණහොත් තීරණය වෙනස්වේදැයි සැකසහිතය.

I යොහාන් භාසුර

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00