2019 මාර්තු 16 වන සෙනසුරාදා

මාලිංග ෆේල්

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 191

දකුණු අප‍්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග තුනම පරාජයට පත්වූ ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිල පිටපිටම සිවුවැනි එක්දින තරගාවලියත් පරාජයට පත්විය. මෙම තරගාවලිය පරාජයත් සමඟ නායක ලසිත් මාලිංග විභාගය අසමත්ව ඇති අතර ඔහු දිව හැරුණු හැරුණු පැත්තට කථාකරන තත්ත්වයකට මේ වනවිට පත්ව සිටියි.

මාලිංග දෙවැනි එක්දින තරගයෙන් පරාජයට පසු පැවසුවේ පිතිකරුවන් අසාර්ථකවීමෙන් ලකුණු 252ක ඉලක්කයට නොහැකි වූ බවයි. තෙවැනි තරගයේ පරාජයෙන් පසුව මාලිංග පවසන්නේ පන්දු යවන්නන් හොඳින් පන්දු නොයැවූ බවයි. එම පන්දු යවන්නන් අතර මාලිංගද පන්දු යවන්නෙක් බවත් තමන්ද අසාර්ථක වූ බවත් අමතක නොකළ යුතුය. 
පෝට් එළිසබත්හිදී පසුගිය බදාදා පැවැති සිවුවැනි එක්දින තරගයේදී උපනායක නිරෝෂන් දික්වැල්ලටද කණ්ඩායමේ ස්ථානය අහිමිවිය. දික්වැල්ල තරග තුනේදීම රැස් කළේ ලකුණු 16ක් පමණි සිව්වැනි තරගයට තරුණ ක‍්‍රීඩක ප‍්‍රියමාල් පෙරේරා කණ්ඩායමට කැඳවා තිබුණි. ලෝක කුසලාන තරගාවලියක් පෙනෙන මානයේ තිබියදී තරුණ ක‍්‍රීඩකයන් කැඳවීම එතරම් හොඳ තීරණයක් යැයි කිව නොහැක. කිසිදු අරමුණක් නොමැතිව මෙම තීරණ ගන්නා බවක් නම් පෙනේ.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව මේ මස 19 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියට සුරංග ලක්මාල්, සදීර සමරවික‍්‍රම සහ අසිත ප‍්‍රනාන්දු යන ක‍්‍රීඩකයන් සහභාගි කරවීමටද තේරීම් කමිටුවේ අවධානය යොමු කරමින් සිටියේය. ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තේරීම සඳහා කණ්ඩායම් හතරකින් යුත් පළාත් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සූදානම් වෙයි. එම තරගාවලිය ලබන මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මාධ්‍යයට පවසා තිබුණේ ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලුම ක‍්‍රීඩකයන් මෙම තරගාවලියට සහභාගි වීම අනිවාර්ය බවයි. තේරීම් කමිටුව දැන් කළ යුත්තේ නවක සහ පරණ ක‍්‍රීඩකයන් දාම් ඉත්තන් මෙන් අරහෙට මෙහෙට ඇදීම නොවේ. ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන අවම වශයෙන් විස්සක පමණ සංචිතයක් ස්ථිර කරගෙන ඉදිරියට යෑමය. 

I වරකාගොඩ ගමගේ