2019 මාර්තු 02 වන සෙනසුරාදා

සනාට පස්සේ තවත් දළකාරයෝ

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 421

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන අංශයේ පරීක්‍ෂණවලට සහය නොදැක්වීමේ වරදට හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සහ හිටපු ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට වසර දෙකක පූර්ණ ක‍්‍රිකට් තහනමක් පැනවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පසුගිය අඟහරුවාදා පියවර ගත්තේය. මෙය ආරම්භයක් පමණක් බවත් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් දළ ඇතුන් කිහිප දෙනකුම තහනමට ලක්වීමේ අවදානමක් ඉදිරියේ ඇති බවත් ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ක‍්‍රිකට් දූෂණ පිළිබඳව පැමිණිලි කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට සහ ජනතාවට ලබාදුන් දින 14ක සහන කාලයේදී ජාතික කණ්ඩායම නියෝජනය කළ සහ කරන ක‍්‍රීඩකයන් එකොළොස් දෙනකු තොරතුරු ලබාදී ඇති බව වාර්තා වේ. කණ්ඩායමට සෘජු සම්බන්ධයක් නොමැති පුද්ගලයන් හය දෙනකුද තොරතුරු සපයා ඇති බව දැනගන්නට තිබේ.  

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති පද්ධතියේ වගන්ති දෙකක් උල්ලංඝණය කළ බව පිළිගැනීම හේතුවෙන් ජයසූරියට මෙම තහනම පනවා තිබෙන අතර ඔහුට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කිසිදු කාර්යයකට සම්බන්ධ විය නොහැක. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අමරණීය සේවයක් කළ මෙන්ම ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරැවකු ලෙස සැළකෙන සනත් ජයසූරිය වැනි ක‍්‍රීඩකයකු මෙවැනි තත්ත්වයකට පත්වීම පිළිබඳව ක‍්‍රිකට් ලෝලීන් කණගාටුවට පත්වනවාට සැක නැත.

මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන අංශය කළ පරීක්‍ෂණයට අවශ්‍ය වූ සනත්ගේ එක දුරකථනයක් පසුව ලබාදීම මෙම තත්ත්වයට හේතු විය. ඔහු එම දුරකථනය ලබාදෙන විට එහි දත්ත මකා එය ලබාදී ඇති බවද වාර්තා වේ. එම දුරකථනය බාරනොදීමට ජයසූරියගේ පෞද්ගලික කරුණක් බලපෑ බව මීට පෙර සනත් ජයසූරිය පවසා තිබුණි. 

ශ්‍රී ලංකා පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන නුවන් සොයිසා, මුදලට තරග පාවාදීමේ චෝදනාවට මේ වනවිට තාවකාලික තරග තහනමකට ලක්ව සිටියි. ඊට අමතරව හිටපු ජාතික මට්ටමේ ක‍්‍රීඩකයන් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංගට තාවකාලික තහනම් පනවා තිබේ. ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තණතීරු සකසන්නෙක් සහ දිස්ත‍්‍රික් පුහුණුකරුවෙක් තහනමට ලක්ව සිටිති. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණු උපදේශකයකුගෙන්ද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන අංශයේ නිලධාරීහු ප‍්‍රශ්න කළහ. මෙම තත්ත්වය සැලකීමේදී ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් බැලිය හැකි බවට තතු දන්නෝ පවසති.  

I වරකාගොඩ ගමගේ