2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ඡන්ද 145න් 125ක් අපට ලැබෙන බව සහතිකයි - ජයන්ත ධර්මදාස

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 189

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්වීමේ තමන්ගේ එකම ඉලක්කය ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩගැනීම බවත් ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ දූෂිතයන්ට දඬුවම් කිරීමේ කාර්යය ක‍්‍රීඩා අමාත්‍යවරයා ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූර අපේක්‍ෂක ජයන්ත ධර්මදාස මහතා පවසයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු සහ ශ්‍රී ලංකාවේ නමගිය ව්‍යාපාරිකයකු වන ධර්මදාස මහතා ‘දේශය’ සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. 

ඔබගේ කාලය තුළ අන්තර්ජාතික ක‍්‍රිකට් කඩා වැටුණු බවට ප‍්‍රතිවාදී පාර්ශ්වය චෝදනා කරනවා. ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

මම අන්තර්ජාතික ක‍්‍රිකට් බාරගත්ත වෙලාවේ ඩිල්ෂාන්, ලසිත් මාලිංග, සංගක්කාර සහ මහේල වගේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් හතර පස්දෙනෙක්ම ක‍්‍රීඩාවෙන් ඉවත් වුණා. ඒ වගේම රංගන හේරත් අන්තිම කාලේ හිටියේ. ඒ වෙලාවේ මම සනත් ජයසූරියත් සමඟ එකතු වෙලා ක‍්‍රීඩකයන්ව උදේ හමුවෙනවා, දවල්ට, හවසට, රෑට මුණගැසෙනවා. කෑම සඳහා එක්කන් යනවා. එවැනි දේවල්වලින් දිරිගැන්වීම් කරලා ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් තරගාවලිය ජය ලැබුවා. එතකොට ඕස්ටේ‍්‍රලියාව ලෝකේ අංක එකේ කණ්ඩායම. ඔවුන්ටත් පුදුමයි අපි ජයගත්තේ කොහොමද කියලා.

ඊට පසුව තිලංග සුමතිපාල මහත්මයට මා ගැන පොඩි ඉරිසියාවක් ඇති වුණා. ක‍්‍රීඩකයෝ, සේවකයෝ මේ ජයග‍්‍රහණය ගැන කථාකරන්න ගත්තා. ඊට පසුව මෙයා අතට ගත්තා. එදා සිට සියලුම තරග පරාජය වුණා. නමුත් වයස 19 න් පහළ කණ්ඩායම මගේ යටතේම තිබුණා. ඒ නිසා මම ඒක අතට අරගෙන හොඳට හැදුවා. ඒ කණ්ඩායම එංගලන්තයේදී පළමුවරට තරගාවලි ජයග‍්‍රහණයක් ලැබුවා. ඒ කණ්ඩායමේ හිටපු ළහිරු කුමාර, සම්මු අෂාන්, චරිත් අසලංක දැන් හොඳට ක‍්‍රීඩා කරනවා. 

කාන්තා කණ්ඩායම කරන්න දුන්නේ නෑ. ඒක නවත්වන්න කිව්වා. මම කිව්වා ඒකත් ජාතික කණ්ඩායමක්, එයටත් නිසි තැන දෙන්න කියලා. නමුත් ලැබුණේ නෑ.

ඔබ චෝදනා කරනවා ඔබට වැඩ කරන්න දුන්නේ නෑ කියලා. ඒ චෝදනාව ප‍්‍රතිවාදීන් ප‍්‍රතික්ෂේප කරනවා නේද?

මම කවදාවත් චෝදනා කරලා නෑ. මම වෙච්ච සිද්ධීන් කිව්වා. මම ලිපි දුන්න දවසත් එය විධායක කමිටුවට ඉදිරිපත් කළ දවසත් බලන්න එවිට පැහැදිලි වෙයි. මම එතනින් ඉවත් වුණානේ නැවත ආවේ නෑනේ. මම කියන්නේ ඔය ඉවත්වුණ අයට ඉවත්වුණා නම් පැත්තට වෙලා ඉන්න, වෙනත් අය ලව්වා ප‍්‍රකාශ කරවන්න එපා.

නැවත නිලවරණය එනකන් මම කිසිම දේකට ඇඟිලි ගහන්න ගියේ නෑ. ඇයි මෙහෙම කරන්නේ තමන්ගේ බූදලයක්ද? ඔය පිරිස මාධ්‍ය හමුවලදී කියන දේවල්වලින් වාසි වෙන්නේ මටයි. ඒ මාධ්‍ය හමුවක් අවසන් වනවිට ඔවුන්ගේ ඡන්ද 15ක් 20ක් මට ලැබෙනවා.

ඔබ ක‍්‍රිකට් ගහලා නෑ. ඒ නිසා සභාපති ධූරයට සුදුසු නෑ කියලා විරෝධතා ඉදිරිපත් වෙලා තියෙනවා නේද?

මම ක‍්‍රිකට් ගහලා තියෙනවා. මම වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කරලා තියෙනවා. මම වෙළෙඳ සේවා ක‍්‍රීඩා කරලා තියෙන නිසා තමයි මේ අය එම තරගාවලිය පළමු පෙළන් ඉවත් කළේ. මම එන එක නවත්වන්න.

ලෝක කුසලානයක් දෙවැනි වරට ජයගත්තේ කාගෙ යටතේද? ආසියානු කුසලානය ජයගත්තේ කාගේ යටතේද? එංගලන්තයේදී තරගාවලියක් ජයගත්තේ කාගේ යටතේද? ටෙස්ට්, එක්දින සහ විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානවල ජාතික කණ්ඩායම හිටියේ කාගේ යටතේද? ක‍්‍රිකට් ක‍්‍රීඩා කරපු එක ගැන කථාකරනවා නම් මොහාන් ද සිල්වා මහතාට වඩා සංගක්කාර, මහේල, අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංග පරිපාලනයට එන්න  ඕනෙනේ. 

අන්තර් සමාජ ක‍්‍රීඩා කරලා මෙතනට එන්න කථාකරනවා නම් ටෙස්ට් ක‍්‍රිකට් ගහපු අයට මොකද වෙන්නේ. ඒ අයනේ නියම සුදුස්සෝ. ඒ අය එන්නෙ නැත්තේ ඇයි? ක‍්‍රිකට් ගහන්න  ඕනේ නෑ. මම දොස්තර කෙනෙක් නෙවෙයි. ඒ වුණාට ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ රෝහලක් හොඳට පරිපාලනය කරනවා. මම නළුවෙක් නෙවෙයි. ඒ වුණාට වසර 15 ක් මම නළු නිළි සංගමයේ සභාපති. මට ඉවත්වෙන්න දෙන්නෙත් නෑ. මම ගායකයෙක් නොවෙයි. අවුරුදු 15 කට සිට ගායක ගායිකා සංගමයේ සභාපති. මම සිංගප්පූරුවේ කන්සියුලර් ජෙනරල්. ඒ තෝරගෙන තියෙන්නේ සිංගප්පූරැ ආණ්ඩුවෙන්. මම සමාගම් 20ක සභාපති. ඒවා සුදුසුකම් නෙවෙයිද?   

වර්තමාන ප‍්‍රධාන පුහුණුකරු පිළිබඳව ප‍්‍රශ්නයක් තියෙනවා. ඔබ එය දකින්නේ කොහොමද?

මෙතනදි අපි කිසිකෙනෙක්ට දොස් කියන්න නරකයි. ලෝකෙ ඉන්න හොඳ පුහුණුකරු කියලා වැඩිමුදලක් ගෙවලා අපි ගෙනාවා. පුහුණුකරු කළේ පුහුණුකරුගේ වැඩද? නෑ. පුහුණුකරැට තව තව දේවල් බාරදුන්නා. කළමනාකරුවකු ගෙනල්ලා ඔහුටත් තව තව දේවල් බාර දුන්නා. කළමණාකරු කළේ ඔහුගේ රාජකාරියද?

ප‍්‍රතිවාදී කණ්ඩායම කියන්නේ කවදා නිලවරණය පැවැත්වුවත් ඔවුන් ජය ලබනවා කියලා.

ක‍්‍රීඩා සමාජ නියෝජිතයෝ මට කියනවා ඇයි 21 වැනිදා දක්වා ඉන්නේ වහාම බාරනොගන්නේ ඇයි කියලා. ඉදිරියේ තවත් තරග තියෙනවා. වහාම පාලනය ගන්න කියලා දැනටම ඡන්ද 125 කට වඩා ලැබිලා තියෙනවා. ඡන්ද 145 න් ඡන්ද 125 ක් දැනට තියෙනවා. මීට පෙර නිලවරණවලදී ඔය අය කියනවානේ අපිට මේ අය මේ ක‍්‍රීඩා සමාජය ඡන්දය දෙනවා කියලා. කෝ මේ පාර ඒවා නෑනේ. මෙවර ක‍්‍රීඩා සමාජ නැති නිසා රැස්වීම් පවා අවසන් මොහොතේ අත්හිටුවනවා. මට සැකයක් තියෙනවා මේ අය කඩාකප්පල්කාරී වැඩක් කරලා නිලවරණය නවත්වයි කියලා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ව්‍යවස්ථාව ගැන බොහෝ විවේචන තියෙනවා. ඔබ එය දකින්නේ කොහොමද?

ව්‍යවස්ථාවේ ගොඩක් තියෙනවා ඉවත් කළ යුතු සහ ඇතුළත් කළ යුතු කරුණු. ක‍්‍රිකට් නොගහපු අයට එන්න තහනම් කළේ ක‍්‍රිකට් ආයතනය බූදලයක් කරගත්තු පිරිසක්. ක‍්‍රීඩකයන් මට කියන්නෙ එන්න කියලා. මම අයි.සී.සී. විධායක සභාවට වසර පහක් ගිහිල්ලා තියෙනවා. එහි ක‍්‍රිකට් ගහපු කවුරුත් නෑ. ආසියානු ක‍්‍රිකට් සංගමයේ මම දෙවරක් සභාපතිවෙලා තියෙනවා. ඒකෙත් ක‍්‍රිකට් ගහපු කවුරුත් නෑ.

I සංවාද සටහන: යොහාන් භාසුර

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00