2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ක්‍රිකට් පිල ’’රෙපයාර්’’ කරයි කෝඩුකාරයෝ ගණනාවක් ඇතුළේ

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 205

ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව මෙම සතිය මුල ‘පය බරවාට පිටි කර බෙහෙත් බඳිනවා’ වැනි තීරණ කීපයකට එළඹුණි. එම තීරණ ශ්‍රී ලංකාවේ අගාදයට වැටී ඇති ක‍්‍රිකට් ක‍්‍රීඩාව තවත් පතුළටම වැටීමටද හේතුවිය හැකිය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය ඉරිදා අවසන් වූ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හැරවුම් ලක්‍ෂයක් බවට පත්වන ලකුණු පසුගිය සතිය වනවිට පහළ වී තිබුණි.

ශ්‍රී ලංකා පිල එම තරගාවලියේ තරග දෙකේදීම දැඩි පසුබෑමකට ලක්ව වැටී සිටි  ඕස්ට්‍රේලියානු  පිලට හිස එසවීමට හොඳ අවස්ථාවක් නිර්මාණය කර දුන්නේය. මෙම දැවැන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ වෙනස්කම් රැසක් කිරීමට අසන්ත ද මෙල් ප‍්‍රමුඛ තේරීම් කමිටුව පියවර ගත්තේය.

ටෙස්ට් පිල දැවැන්ත ප‍්‍රතිසංවිධානයකට ලක්කරමින් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නායකයා ලෙසත් කඩුලු රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල උප නායකයා ලෙසත් පත්කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේය.ඕස්ට්‍රේලියානු  සංචාරයේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් සංචිතයට හෝ ඇතුළත් නොකිරීමට තේරීම් කමිටුව පසුබට නොවීය. 

ඕස්ට්‍රේලියානු තරගාවලියේ ප‍්‍රතිඵලය දෙස බැලූ තේරීම් කමිටුව එළඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරයට තරුණ ක‍්‍රීඩකයන් වන ඕෂධ ප‍්‍රනාන්දු, මොහොමඩ් ශිරාෂ්, ලසිත් ඇඹුල්දෙණිය සහ ඇන්ජලෝ පෙරේරා ඇතුළත් කර තිබුණි. අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ හලාවත මේරියන්ස් පිල නියෝජන කරන 26 හැවිරිදි දකුණත් පිතිකරු  ඕෂධ මෙවර තරගාවලියේදී ලකුණු දහසක් රැස්කිරීමට සමත්ව සිටියි.

දකුණතින් වේගපන්දු යවන 23 හැවිරිදි මොහොමඩ් ශිරාෂ් සහ වමතින් දඟපන්දු යවන 22 හැවිරිදි ලසිත් ඇඹුල්දෙණිය මෙම සංචිතයට ඇතුළත්ව සිටින සෙසු කෝඩුකාරයෝ වෙති. ළහිරු කුමාර, නුවන් ප‍්‍රදීප් සහ දුෂ්මන්ත චමීර තරමක් අත්දැකීම් ඇති වේගපන්දු යවන්නන් ආබාධයන්ට ලක්වීම නිසා මොහොමඩ් ශිරාෂ් සහ චාමික කරුණාරත්න වැනි තරැණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලැබී තිබේ.  

ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සහ වමත් දඟපන්දු යවන්නකු වන තුන් ඉරියව් ක‍්‍රීඩක මිලින්ද සිරිවර්ධන නැවතත් සංචිතයට කැඳවීම වඩාත් හොඳ තීරණයක් ලෙස කිව හැකිය. මෙම සංචිතයට වර්තමාන ශ‍්‍රී ලංකා ටෙස්ට් පිලේ ජ්‍යෙෂ්ඨතම පිට දඟපන්දු යවන්නා වන ඩිල්රැවන් පෙරේරා ඇතුළත්ව නැත. සංචිතයේ නිත්‍ය පිට දඟපන්දු යවන්නකු නොමැත. භාග පිට දඟපන්දු යවන්නකු වන ධනංජය ද සිල්වාගෙන් සේවය ලබාගැනීමට සැලසුම් කරනවාට සැක නැත. 

ශ්‍රී ලංකා පිලට අත්දැකීම් අවශ්‍ය අවස්ථාවේදී ටෙස්ට් තරග 38 කදී කඩුලු 158 ක් දවාගෙන සිටින ඩිල්රුවන් ඉවත් කිරීම දැඩි ගැටලුවකි. මෙම තරුණ ක‍්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලියකදී අවස්ථාව දුන්නේ නම් හොඳ ප‍්‍රතිඵලයක් නෙළා ගැනීමට හැකියාව තිබේ. ඕෂධ වැනි ක‍්‍රීඩකයකු කැඳවනවා වෙනුවට සදීර වැනි තරුණ පිතිකරුවකු රඳවා ගත්තේ නම් මීට වඩා ප‍්‍රතිඵල සහිතය. 

‘චයිනමන්’ පන්දු යවන ලක්‍ෂාන් සඳකැන් නැවතත් යොදා ගැනීමේ සැලැස්මක් තිබේ. සඳකැන් පසුගිය කාලය පුරාම ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට අපොහොසත් වූ පන්දු යවන්නෙකි. චන්දිමාල්, ඩිල්රුවන්, රොෂේන් සහ සදීර යන ක‍්‍රීඩකයෝ නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. කුසල් මෙන්ඩිස් තවමත් සංචිතයේ රැඳී සිටියි. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් පරාජයන්ගෙන් මෙන්ම ක‍්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීමෙන් දැඩි අපහසුතාවට පත්ව තිබේ. ක‍්‍රීඩකයන් නිරන්තරයෙන් ආබාධයන්ට ලක්වීමට දිගුකාලීන විසඳුමක් නොලැබුණහොත් ශ‍්‍රී ලංකාව තවත් අමාරැවේ වැටෙනවාට සැක නැත. 

I සටහන: යොහාන් භාසුර