2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් හතුරු ගේ පතුරු අරියි!

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 267

''ජාතික කණ්ඩායම තේරීමේ වගකීම තියෙන්නෙ තේරීම් කමිටුවටයි. ඉදිරියේදී අවසන් එකොළොස් දෙනා තෝරන්නෙ තේරීම් කමිටුවයි. ඒ සඳහා අපිට ලිඛිත අවසර ලැබී තිබෙනවා.''

''කණ්ඩායම තේරීමේ වගකීම ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන්නේ තේරීම් කමිටුව, නායකයා සහ කළමනාකරු යන පාර්ශව තුනටයි. ඊට පිටින් මොනවා හරි දීලා තියෙනවා නම් එය අපිට අදාළ නෑ.''

''ජාතික කණ්ඩායම තේරීම් සම්පූර්ණ බලය දැන් තියෙන්නේ තේරීම් කමිටුවටයි. පුහුණුකරු කණ්ඩායම තෝරන්නේ කොහොමද?''

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට කණ්ඩායමේ අවසන් එකොළොස් දෙනා තේරීමට ලබාදී තිබූ අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරියෙක් එසේ පැවසීය. හතුරුසිංහ මහතාගේ පුහුණුකරු ධූරයේ ප‍්‍රගතිය සහ ඇතැම් ක‍්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය තුළ දැඩි කථාබහක් නිර්මාණය වී තිබේ. 

ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පසුගිය සිකුරාදා ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිට අවසන් එකොළොස්දෙනා තේරීමේ හැන්ද තේරීම් කමිටුව ලබාගෙන තිබේ. ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා තේරීම් කමිටුවට අවසන් තේරීම් සඳහා ලිඛිත අවසර ලබාදී ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.

හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරය බාරගැනිමේදී තමන්ට තේරීම් කමිටුවේ සාමාජිකත්වයද ලැබිය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කළ අතර ඒ අනුව තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාලනය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන ව්‍යවස්ථාව වෙනස් කර ඒ සඳහා ප‍්‍රතිපාදන ඇති කළ බවට එවකට ප‍්‍රකාශ විය. ශ්‍රී ලංකාව තුළ විශාලතම වැටුප ලබාගන්නා ශ්‍රී ලාංකිකයා වන හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව කණ්ඩායමේ පැහැදිලි ප‍්‍රගතියක් දැකිය නොහැක. ඒ හේතුවෙන් ඔහු පුහුණුකරු ලෙස තවදුරටත් රඳවාගන්නවාද යන්න ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉතාමත් ඉක්මනට තීරණය කළ යුතුය. 

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නිලධාරියකු තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කණ්ඩායම තුළ කල්ලි නිර්මාණය කර ඇති බවත් ඔහුට අවනත ක‍්‍රීඩකයන්ට රැකගැනීමට විවිධ දේ කරමින් සිටින බවත් කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික කණ්ඩායම තුළ ‘මැතිව්ස්’ කල්ලිය, ‘චන්දිමාල්’ කල්ලිය සහ ‘මාලිංග’ කල්ලිය ලෙස ක‍්‍රීඩක කල්ලි තුනක් පවතින බව වාර්තා වන අතර තිසර පෙරේරා ‘චන්දිමාල්’ කල්ලි නියෝජනය කරන බව තතු දන්නෝ පවසති. මෙහිදී ‘චන්දිමාල්’ කල්ලියට අදාළ නිලධාරියාගේ සහයෝගය ලැබෙන බව වාර්තා වේ. ඒ හේතුවෙන් ටෙස්ට් නායක චන්දිමාල් රැකගැනීමට ඔහුට ටෙස්ට් පිලේ විවිධ ස්ථාන ලබාදෙමින් චන්දිමාල්ගේ අසාර්ථකත්වය සැඟවීමට උත්සහ කරන බවට චෝදනා එල්ල වී තිබේ. 

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ‘ගහෙන් ගෙඩි එන්නාක් මෙන්’ නායකත්වයෙන් ඉවත් කිරීම පිටුපසද මෙම නිලධාරියා විශාල කාර්යයක් ඉටු කළේය. එහිදී මැතිව්ස් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලිඛිතව දක්වා සිටියේය පරාජයේ වගකීම තමන් පිට පමණක් පටවා ඇති බවයි. මෙම නිලධාරියා කණ්ඩායම තුළ තම ඒකාධිකාරය පවත්වාගෙන යෑම සඳහා කළමනාකරුවන් ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ සහ චරිත් සේනානායක යන දෙපළම එළවා දැමීමට කටයුතු කළේය. මෙම නිලධාරියා සම්බන්ධයෙන් කිව හැක්කේ ''කකුළුවා නටන්නේ වතුර රත්වනතුරු පමණි'' යනුවන් යන කියමනය. දැන් වතුර රත්වෙමින් තිබීම නිසා අදාළ නිලධාරියාද පරිස්සම් විය යුතුය. ඔහු පාසල් කාලයේ කළ සෙල්ලම් දැන් නවතා දැමිය යුතුය.  

අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව සටනට අවතීරණ වී තිබේ. තේරීම් කමිටුවේ සියලු බලතල ඔවුන් සතුකරගෙන ඇත. ''තේරීම්වලට පෙර අපි නායකයාගේ සහ පුහුණුකරුගේ අදහස් ලබාගන්නවා. නමුත් තේරීම් කරන්නේ අපි. තරග පැරදෙන විට බෝලෙ අපිට පාස් කරනවා. දැන් අපි නිවැරදි තීරණ ගන්නවා'' යැයි ක‍්‍රිකට් නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය.  

I සටහන: වරකාගොඩ ගමගේ

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00