2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ක්‍රීඩා පිටියේ අඳුරු වලා

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

ශ්‍රී ලංකා ක‍්‍රීඩා බලධාරීන් මෙම 2019 වසර ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට විශේෂ වසරක් බවට පත් නොකළ හොත් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාවේ ගන්නට දෙයක් නොමැති වනු ඇති බවට ක‍්‍රීඩාවේ ප‍්‍රවීණයෝ පවසති.

නව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාට තව කොතරම් කාලයක් ධූරයේ කටයුතු කළ හැකිවේ දැයි දෙයියන් පමණක් දන්නා කාරණයකි. ඒ හේතුවෙන් ඇමතිවරයා කෙටි මාර්ග සොයනවාට සැක නැත. අමාත්‍යවරයා පළමු මාධ්‍ය හමුවේදී පැවසුවේ ඔහු මාස හයක සැලැස්මක් ක‍්‍රියාත්මක කරන බවයි. 

ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රීඩා ලෙස පැවැති ක‍්‍රිකට්, මලල ක‍්‍රීඩා සහ පාපන්දු යන ක‍්‍රීඩා අඩියටම වැටී තිබේ. රග්බි, දැල්පන්දු සහ වොලිබෝල් වැනි ක‍්‍රීඩා එක තැන පල්වෙමින් තිබේ.

ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩගැනීමට නම් බොහෝ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරේ. එසේ වුවද සෙසු ක‍්‍රීඩා සම්බන්ධයෙන් බලධාරීහු සහ ජාතික ක‍්‍රීඩා සංගම් නිලධාරිහු ඇල් මැරුණු ස්වරූපයකින් කටයුතු කරති.

මෙම ක‍්‍රීඩා ගොඩගැනීමට නම් දිගුකාලීන සැලැසුම් අනිවාර්යය වේ. ආසියාවේ බොහෝ රටවල රග්බි කණ්ඩායම්වලට විදේශීය කළු ජාතික ක‍්‍රීඩකන් ඇතුළත් සිටිය ද ශ්‍රී ලංකාවේ එවැනි දෙයක් නොවේ. එවැනි දේ ව්‍යාජ සහතික සකස් කර කරනවාට වඩා සැළසුම්සහගතව කළ යුතුය.

ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ප‍්‍රශ්නවලට පිළියම් සෙවීමට ‘ක‍්‍රීඩා දුක්ගන්නාරාළ’ තනතුරක් නිර්මාණය කරන බවයි.

"අපි දන්නවා ලංකාවේ ගම්මානවල සපත්තු දෙක ගන්න බැරිව, නොයෙකුත් ප‍්‍රශ්ණ තිබෙන අය ඉන්නවා. සමාජ ජාල හරහා මේ දේවල් දිගින් දිගටම අපි දකිනවා. ඒ නිසා නව වසරේ අලුත් ආරම්භයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මෙවැනි ගැටලු තිබෙන අය වෙනුවෙන් ‘ක‍්‍රීඩා දුක්ගන්නාරාළ’ කෙනෙක් ක‍්‍රීඩා අමාත්‍යාංශට පත්කරන්න. මෙයින් වෙන්නේ ඇත්තටම දරුවෙක්ට ප‍්‍රශ්ණයක් තියෙනවා නම්, යම්කිසි අසාධාරණයක් වුණානම් ක‍්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වීමෙන් ඒ දේවල් සොයා බැලීමයි” 

එවැනි තනතුරක් නිර්මාණය කරන්නේ නම් මීට පෙර ඇමතිවරු කළා මෙන් උපදේශකයන් යැයි පවසමින් විශ‍්‍රාම ලැබූ පුද්ගලයන් පත්කළ හොත් එය තවත් ‘සුදු අලියෙක්’ නිර්මාණය කිරීමක් වනු ඇත. එය තවත් සැදෑසමය ගත කරන කීපදෙනකුට ප‍්‍රසාද දීමනාවක් ලබාදීමක් පමණක් වනු ඇත. 

”ක‍්‍රීඩා අමාත්‍යාංශය ‘1978’ අංකය යටතේ ඇමතුම් මධ්‍යස්ථානයක් (Call Center) ස්ථාපනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. එමගින් ක‍්‍රීඩාවේ දූෂණ, වංචා වගේම අඩුපාඩු සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හැකි වෙනවා. එය තව සතියක් ඇතුළත ආරම්භ කරගන්න හැකි වෙයි කියලා හිතනවා” යැයි ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසීය. 
මෙම අංකය ද වෙනත් රාජ්‍ය ආයතනවල පොදු අංකවල තත්ත්වයට පත්වුවහොත් හරීන් ප‍්‍රනාන්දු මහතා ද සාම්ප‍්‍රදායික දේශපාලඥයකු පමණක් වනු ඇත. 

I විශේෂ ලියුම්කරුවකු විසිනි