2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

හොර පාරෙන් සේවා දිගු ගන්න ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසකට වැඩේ වරදියි

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කොන්ත‍්‍රාත් පදනමින් සේවයේ නියුතු පිරිසක් වර්තමාන පරිපාලන ව්‍යාකූල තත්ත්වය ප‍්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ සේවය වසර දෙකකින් දීර්ඝ කරගැනීමට ගත් උත්සාහයක් මේ වනවිට අතේ පත්තු වී තිබේ. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පත්වීම් ලැබූ පසුගිය 20 වැනිදා පස්වරැවේ මෙම පිරිස ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිසි බලධාරී මාර්ගයෙන් සේවය දීර්ඝ කරගැනීමට උත්සහ කර තිබේ. ඒ පිළිබඳව දැනුවත් වූ හරීන් ප‍්‍රනාන්දු මහතා එය අත්හිටුවීමට උපදෙස් ලබාදී ඇතැයි කියති.

ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ තමන් වැඩ බාර ගැනීමෙන් පසුව ඒ පිළිබඳව දැනුවත් වීමෙන් පසුව එය අත්හිටවූ බවයි. "පස්වරු 3.00ට විතර මට එවැනි දෙයක් දැනගන්න ලැබුණා. මම කථාකරලා කිව්වා එවැනි කිසිම දේකට අත්සන් කරන්න එපා කියලා. ඒ පිළිබඳව සොයාබලා කටයුතු කරනවා" යැයි ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කොන්ත‍්‍රාත් පදනම මත සේවය කරන විධායක ශ්‍රේණියේ උසස්ම නිලධාරීන් කිහිපදෙනකු ඇතුළුව 20කට අධික සංඛ්‍යාවකගේ සේවා කොන්ත‍්‍රාත්තුව හෙට (31 වැනිදා) අවසන් වේ. එම නිලධාරීන් අතර ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරෝම් ජයරත්න යන මහත්වරු ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීහු 10ක් පමණ සිටිති. එම නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් ක‍්‍රිකට් ආයතනයේ වසර ගණනාවක් සේවය කරමින් වගකීම දැරූ පුද්ගලයෝ වෙති.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට පසුගිය තිලංග සුමතිපාල පාලනය තුළදී උපදේශකයන් සහ ඇතැම් තනතුරු නිර්මාණය කරමින් හිතවත් පුද්ගලයන්ට සුපිරි වැටුප් සමඟ තනතුරු ලබාදී තිබිණි. ඉන් කීපදෙනක්ද මෙම වසර අගදී සේවය අවසන් වන ලැයිස්තුවට ඇතුළත්ව සිටිති. මෙම පුද්ගලයන් නිසි බලධාරියා නොමඟ යැවීම සඳහා ඔවුන්ගේ ප‍්‍රධානියාගෙන් එම පුද්ගලයාගේ සේවය අවශ්‍ය බවත් තවත් වසර දෙකකින් සේවය දීර්ඝ කරන ලෙසත් ඉල්ලීමක් ඇතුළත් ලිපි ලබාගෙන ඇති බවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් දෙපාර්තමේන්තුවල එකම තනතුරට බඳවාගත් කීපදෙනා බැගින් කටයුතු කරන අතර ඒ බොහෝ දෙනක් කිසිදු රාජකාරියකින් තොරව සුපිරි වැටුප් ලබති. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු ‘දේශය’ට පැවසුවේ තම පත්වීම් දේශපාලන පත්වීම් නොවන බවත් එවැනි පත්වීම් සහ උපදේශක පත්වීම් ලැබූ බොහෝ දෙනකුගේ සේවය මෙම වසර අගදී අවසන් කිරීමට තීරණය කර ඇති බවත්ය.

"මෙම වසර අගදී සේවය අවසන් වන බොහෝ පිරිසක් ක‍්‍රිකට් ආයතනයේ වසර කීපයක් සේවය කරලා වගකීම් ඉටුකරන නිලධාරීන්. ඒ නිසා ඔවුන් පිළිබඳව සළකා බලන්න වෙනවා. නමුත් සංවර්ධනයට කියලා අරන් ඉන්න උපදේශක තනතුරු දරන අයව ඉවත් කරන්න අපි තීරණය කරලා අවසන්" යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානම පුටු කිහිපයක නිලධාරීන් වෙනස් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවද වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දහඩිය වගුරැවා ගෙන එන මුදල් ගිලින මෙම කාර්යභාරයක් නොමැතිව පිං පඩි ගන්නා පුද්ගලයන් ගෙදර යැවීම අනිවාර්ය ෙයන් කළ යුතු බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක්ම කියති.

I විශේෂ ලියුම්කරුකු විසිනි