2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

ක්‍රිකට් නිලවරණ: පළමු කඩූල්ල පනියි:

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම පසුගිය සඳුදා අවසන් කළේය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ආසන්තම සභාපතිවරයා වන තිලංග සුමතිපාල මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීම එහිදී කැපීපෙනෙන සිද්ධිය බවට පත්ව තිබේ. 

‘‘"ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් පමණක් නොවෙයි. ජාතික දේශපාලනයේ වගකීමක් ඉටුකරන්න මට තියෙනවා. ඒ නිසා එම වගකීම ඉටුකරන්න මම තීරණය කළා. එය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට එහා ගිය වගකීමක්. ඒ නිසා මම නිලවරණයට ඉදිරිපත් නොවී ඉතාමත් ශක්තිමත් කණ්ඩායම් ඉදිරිපත් කළා’’

‘‘ඡන්දයට ඉදිරිපත් වීමට අධිකරණයෙන් මට අවසර දීලා තියෙනවා. කිසිම උසාවියකින් මට ඡන්දයට ඉදිරිපත් වීම තහනම් කරලා නෑ. ජාතික අවශ්‍යතාවය සඳහා වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු එකතු කරගෙන ගමනක් යන්න තියෙනවා’’ යැයි සුමතිපාල මහතා පසුගිය සඳුදා පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

තිලංග සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත් නොවීමට සැබෑ හේතුව දේශපාලනයේ ජාතික වගකීමමද යන්න අපි නොදනිමු.

සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත් නොවීමත් ‘රණතුංග’ පාර්ශ්වයෙන් සභාපති ධූරයට කීර්තිමත් ක‍්‍රිකට් පරිපාලකයකු වන කේ. මතිවානන් මහතා ඉදිරිපත් වීමත් සමඟ ‘සුමතිපාල’ පාර්ශ්වයට අභියෝගයක් යොමුවී තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අවසන් නිලවරණය වන 2016 නිලවරණයේදී ‘සුමතිපාල’ පාර්ශ්වය සමඟ එකතුව තරග කළ කේ. මතිවානන් සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු මෙවර ‘රණතුංග’ පාර්ශ්වය සමඟ සන්ධානගතව සටනට පැමිණ සිටිති.

හිටපු උප සභාපතිවරයකු වන මතිවානන් මහතාට පෞද්ගලිකව ලබාගත හැකි ඡන්ද 30කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවට ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව දැනුමැත්තෝ පවසති. 

‘සුමතිපාල’ පාර්ශ්වයේ ප‍්‍රධාන සභාපති ධූරය අපේක්‍ෂකයා බවට හිටපු සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතා ඉදිරිපත්ව සිටියි. ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජයක් වන සිංහල ක‍්‍රීඩා සමාජයේ (එස්.එස්.සී.) උප සභාපති ධූරය හොබවන මොහාන් මහතා ද කීර්තිමත් ක‍්‍රිකට් පරිපාලකයෙකි. 

ජයන්ත ධර්මදාස මහතා සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කළ ද ඒ මහතාට ක‍්‍රීඩා නීතියට අනුව තරග කිරීමේ අවස්ථාව ලැබේදැයි සැක සහිතය. ක‍්‍රීඩා නීතියට අනුව අදාළ ක‍්‍රීඩා සංගමයේ තනතුරකට ඉදිරිපත් වීමට නම් එම පුද්ගලයා එම ක‍්‍රීඩාවේ පළමු පෙළ ක‍්‍රීඩා කර තිබිය යුතුය. ධර්මදාස මහතා පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කර නැත.

‘රණතුංග’ පාර්ශ්වයෙන් ආදි ආනන්ද ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක මෙන්ම හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ මාතර ක‍්‍රිකට් සමාජය නියෝජනය කරමින් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජික ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා උප සභාපති ධූරවලට ඉදිරිපත්ව සිටිති. 

නිලවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබාදී ඇති අතර ඒ අනුව මේ මස 31 වැනිදා විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය අවසන් වේ. 

එම විරෝධතා ලබන ජනවාරි මස 1 සහ 2 දෙදින සලකා බැලීමට නියමිතය. ඉන් පසුව නිලවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන අවසන් ඡන්දහිමි නාමලේඛනය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

මෙහිදී විරෝධතා සලකා බැලීමෙන් පසුව ඇතැම් විට ක‍්‍රිකට් නිලවරණය නැවත අධිකරණය වෙත යොමුවීමට ඉඩ තිබේ. එසේ වුවහොත් නිලවරණය පෙබරවාරි මස 7 වැනිදා පැවැත්වීම අවදානමකට ලක්වේ. 

ඡන්ද හිමි නාමලේඛනය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයාට දකුණු පළාත් ක‍්‍රිකට් සංගමය සහ කළුතර කායවර්ධන කවය ඉදිරිපත් කර ඇති අභියාචනා විභාග කිරීමට මෙම සටහන තබන මොහොත දක්වා ක‍්‍රීඩා අමාත්‍යවරයකු පත් කර නොතිබුණි. 

හිටපු අභියාචනාධිකරණ විනිසුරු පී.ඩබ්ලිව්.ඩී.සී. ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණ කමිටුව මෙවර නිලවරණය ක‍්‍රියාත්මක කරයි. 

I වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00