2019 ජනවාරි 05 වන සෙනසුරාදා

පොලීසියේ අල්ලස් ට්‍රේනිං

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

රුපියල් 3000ක අල්ලස් ගත් පොලිස් නිලධාරියකුට වසර අටක සිර දඬුවම් ලබාදීමේ සිද්ධියක් පසුගියදා පුවත්පත්වල වාර්තා විය. එම පුවතින් කරණා කිහිපයක් ගත හැකි අතර එකක් අල්ලසට විරැද්ධව මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම ඉහළ තැනක ඇති බවය. එසේම රටේ මහජනතාව ද අල්ලසට විරුද්ධ බවත්ය. ඒ නිසා එය නව වසරේ දකින්න ලැබුණු ඉතා සතුටුදායක පුවතකි. ඒ රටේ නීතිය පැත්තෙන්ය. මානුෂීය ආකාරයෙන් බැලුවොත් මිනිසකු සි‍රගත වීම ගැන අපට සතුටක් ඇත්තේ නැත.

කෙසේ වෙතත් රටේ දූෂිතම නිලධාරීන් සිටින්නේ පොලීසියේ බව රටේ මහජනයා අතර මතයක් ඇත. විශේෂයෙන් මාර්ග නීතිවලින් රිංගා වැඩේ වරද්දාගත් පසු දඩ කොළය වෙනුවට සල්ලි කොළය දී පුරුදු කළ අපට එය පාරා වළල්ලක් වූ පසුව එසේ සිතෙනු ඇත. එහෙත් ඊට සම්පූර්ණයෙන් වැරදිකරුවන් වන්නේ අපය. එසේම රටේ මහජනතාව අතර ද රථවාහන නිලධාරීන් පෙනෙන්නේ කාක්කන් ලෙසය. විවිධ නම් කියා ආමත්‍රණය කරන ඔවුන්ව ඇතැම් රියදුරන්ට වහකදුරැ වී ඇත. ඒ නිසා දැක්කත් හිතෙන් බැණ යන තැනට පත්ව ඇත. කනගාටුව නම් දෙතුන් දෙනකුගේ වැඩ නිසා මුළු පොලීසියටම ඒ නරක නාමය දරන්නට සිදු වී තිබීමය.

කෙසේ වෙතත් මේ කතාව කියන්නේ අල්ලස් ගන්නේ කවුද? අල්ලස් ගැනීමට පුරැදු කරන්නට යන්නෙ කවුද යන්න ගැන හෙළිදරව්වකි. මෙය පොලීසියේම අයකු විසින් අපට කී කතාවකි.

අපේ කතානායකයා පොලීසියේ පහළ ශ්‍රේණියේ සේවකයෙකි. ඔහුගේ රාජකාරිවලින් වැඩිම කාලයක් ගත කර ඇත්තේ සංචාරක කලාප තුළය. ඔහු මේ කතාව ආරම්භ කළේ මෙලෙසය

“මම දකුණේ පැත්තේ වැඩ කළ කාලයක්. ඒ කාලේ තමයි මම ආවේ ඔය සංචාරක කලාපයට. දවසක් මට ඕ.අයි.සී මහත්තයා කතා කරලා හිතේ අමාරැවෙන් කතාවක් කිව්වා. ඒ මහත්තයා වැඩ කරපු පොලීසියේ ලොකු සර් කෙනෙක්ගේ කට්ටියක් වැකේෂන් එකකට දකුණේ එනවා කියලා. දවස් හයකට. ඒකෙන් දවස් දෙකක ඉන්න පහසුකම් හදලා දෙන්න තිබ්බේ අපිට. අනිත් ටික වෙන කට්ටියකට. දැන් අපිට බාර වෙලා තිබ්බේ හොඳ හෝටලයකින් කාමර තුනක් හොයලා දෙන්න කෑම එක්ක. කොරල්පර බලන්න බෝට්ටුවක්, විස්කි බෝතල් 5ක් හොයලා දෙන්න"

මා ඔහුගේ කතාවට බාධා කරමින් ඇසුවේ ඒ මුදල්වලටද යන්නය.

“විකාරද මල්ලි. ඒ ඔක්කොම නිකන්. අනික හෙට එන්නේ කියලා අද කියන්නේ. ඒ අය ඒ වෙනකොටත් ඇවිත් දකුණේ තැනකට එතන බෝරිං කියලා දැන් අපෙන් තැනක් හොයනවා" යැයි ඔහු සිනාසෙමින් කීය.

එච්චර දෙයක් නිකන් දෙන්නේ කොහොමදැයි මම ඇසුවෙමි.

 “ඕඅයිසී මහත්තයා මුළු පොලිස් ඒරියා එකේම ඉන්න බෝට්ටුකාරයන්ට කතා කළා. එක්කෙනෙක් කාමර දෙකකට ස්පොන්සර් කළා. තව එක්කෙනෙක් බෝට්ටුවක් දෙන්නම් කිව්වා. හෝටලයක් අයිති එක්කෙනෙක් විස්කි බෝතල් පහ දුන්නා. මට මතකයි ඕඅයිසී මහත්තයා කටින් ඉල්ලුවේ. මේ ඒ මහත්තයට නෙමෙයි. ඒ මහත්තයගේ ලොක්කට. මම ගියේ ඒ අයව එක්කන් තැන් පෙන්නන්න. ඕඅයිසී මහත්තයා පුදුම විදිහට ලැජ්ජා වුණා. ඒත් කරන්න දෙයක් නෑ කරන්න වුණා" යැයි ඔහු කීය.
ඉතිං කට්ටිය සැප අරගෙන ගියාද? මම නැවතත් ඇසීය.

“නෑ. නියම සිද්ධියක් වුණා ඒ උන් යන දවසේ. එකපාරටම ඕඅයිසී මහත්තයා කතා කරලා කිව්වා අර හෝටලයට යන්න කියලා. එතන ප්‍රශ්නයක් කියලා. මම ගියා ජීප් එකේ. යනකොට හෙන වලියක්. හේතුව පාතාලේ පොරකට සද්දයක් දාලා ඒ අය අහවල් එක්කෙනාගේ මල්ලි කෙනෙක් කියලා. අරෑ අල්ලන් ගහලා. අන්තිමට තුවාල වෙච්ච මිනිහා අරගෙන හොස්පිට්ල් ගියේ මම පොලිස් ජිප් එකේ දාගෙන. දැන් බලන්න අල්ලස් ගන්නේ අපිද? නැත්තන් ලොකු මහත්තුරැ වෙනුවෙන් බෙල්ල තියන්නේ අපිද? කියලා.

ඔහු ඒ කතාව අවසන් කරමින් තවත් කතාවක් කීය.

මේ බස්නාහිර පැත්තේ ඉන්න කාලයක. ඒ පාර අපිව බාර හිටිය ලොකු මහත්තයගේ යාලුවෝ ටිකක් බීච් එකේ නාන්න එනවා කියලා ඒ අයට බොන්න සෙට් කරන්න කිව්වා. ඕයි.අයි.සී ඒක සෙට් කළා වෙන කෙනෙක්ට. ඒ අපේ පොලීසියේ කොස්තාපල් කෙනෙක්ට. බෝතල් තුනක් කොහෙන් හරි හොයන් වරෙන් කිව්වා. අනේ මූ හොයාගෙන ආවා. හැබැයි මාසයකට පස්සේ ආරංචි වුණා මිනිහා බෝතල් පහක් අරගෙන ඇවිත් බාර් එකෙන් ඕඅයිසී මහත්තයගේ ඥාතියෝ එනවා කියලා නිකන් අරගෙන ඇවිත් තියෙන්නේ. හැබැයි ඒකෙනුත් මේ කොල්ලා දෙකක් හංගලා. ඕඅයිසී මහත්තයා එන්න කියලා ඇහුවම ඔව් කියලා කොල්ලා පිළිගත්තා ඒත් කරන්න දෙයක් නෑ. දඬුවම් කරන්නත් බෑ.

ඔහු සිය අත්දැකීම් බෙදා ගත්තේ එලෙසය. එම නිලධාරියා කියන ආකාරයට මසයකට වතාවක් හෝ එවැනි බිලක් පොලීසියේ ඇතැම් ලොකු මහත්වරැන්ගෙන් අදාළ පොලීසියකට ලැබෙනු ඇත. එවිට ඇතැම් ස්ථානාධිපතිවරු පොලීසියේ එක් එක් අංශයන් වෙත අදාළ කොටස් බෙදාහරින බව සඳහන් වේ. සාමාන්‍යයෙන් සංචාරය කිරීමට පැමිණෙන කණ්ඩායමකට පොලීසියේ සියලු දෙනා එකතුවී සම්මාදම් වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. බොහෝ විට මේ දේවල් සිදුකරන්නේ ඇතැම් ස්ථානාධිපතිවරැන් ස්වකැමැත්තෙන් ලොකු ලොක්කන්ගෙන් ලකුණු දා ගැනීමට බව ද සඳහන් වේ.

කෙසේ වෙතත් ලොකු ලොක්කන්ගේ අතේ පයේ ජරාව ගා නොගෙන බළලුන් ලවා කොස් ඇට බාවන ක්‍රමයට මේ අල්ලස් ගැනීම සිදුකරනු ලබයි. මේ හේතුවෙන් පහළ නිලධාරින් අල්ලසට බිය නොවී තමන්ට හිතූ මනාපයට අල්ලස් ලබා ගැනීමට පුරැදු වී සිටින බව සඳහන්ය.

ඇතැම් ඉහළ නිලධාරීන් ගෙවල් දොරවල් සුද්ද කර ගැනීම සඳහා පවා මිනිසුන් සොයා දෙන ලෙසට කතා කරන්නේ ස්ථානාධිපතිවරැන්ට යැයි කියති. එපමණක් නොව ලොක්කන්ගේ ගෙවල්වල ගෑමට තීන්ත ටින් පවා ඇතැම් පොලිස් ස්ථාන හරහා යවන තැනට පත්ව ඇත. එම වියදම් පොලිස් ස්ථානාධිපතිවරැන්ට දැරිය නොහැකි නිසා අවසානයේ එකී දෑ ගන්නේ පොලිස් බල ප්‍රදේශයේ හාඩ්වෙයාර්වලින් බව එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

ඒ නිසා පහළ නිලධාරීන් රුපියල් දෙසීයක් තුන්සීයක් අල්ලස් ගැනීමට පුරැදු කරන තැනට පත්කරනු ලබන්නේ ඇතැම් ඉහළ නිලධාරීන් බව ඔවුන්ගේ චෝදනාවයි. බොහෝ අවස්ථාවල සංචාරයට පොලිස් ලොක්කන්ගේ පවුල් පැමිණෙන්නේ නැත. පැමිණෙන්නේ මිතුරන් සහ නෑදෑයන්ය. ඔවුන්ට පවා පොලීසියේ නිලධාරීහු සැලකුම් ලබා දීමට බැඳී සිටිති. මේ නිසා කිසිදු අල්ලසකට හුරු නොවන නිලධාරීන් පවා ලොක්කන්ගේ බලපෑමට අල්ලසට දූෂණයට හුරුවී ඇත.

මෙම නිලධාරියා පවසන ආකාරයට ඇතැම් අවස්ථාවල ගංජා වැනි දෑත් ඊට එහා ගොස් ගණිකා මඩම්වලට රැගෙන යාම තෙක් පොලිස් නිලධාරීන්ට ලොක්කන් පිනවීම සඳහා අල්ලස් ලබා ගැනීමට සිදුවී ඇත. මේ නිසා පහළ නිලධාරීන් අල්ලස දුෂණයට ක්‍රමයෙන් හුරු වන අති බව ඔහු සඳහන් කළේය. ඒ නිසා මේ ක්‍රමය මැඩ පැවැත්වීමට ඉහළ නිලධාරීන් විසින් සිදුකරන මේ අනිසි බලපෑම නවතා දැමිය යුතුය. එසේ කරන්නන් හට දඬුවම් දිය යුතුය. එසේ නොවුවහොත් සොක්කන් ඇතුළේත් ලොක්කන් මාලිගාවලත් රජවනු ඇත

 අසංක කළුබෝවිල