2019 ජනවාරි 05 වන සෙනසුරාදා

අලුත් අවුරුද්දේ පැටවෙන අලුත් බර

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 6

2019 වසර මැතිවණ අවුරුද්දක් වශයෙන් හඳුන්වන්නට නැඹුරැවක් තිබේ. නිසි කලට මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක යහපත් ලක්ෂණයකි. මැතිවරණ පැවැත්වීමෙන් ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කරයි. රට පාලනය කිරීම උදෙසා ජනතා නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණය හොඳ වේදිකාවක් බව අවිවාදිතය. නමුත් මැතිවරණ වෙනුවෙන් මිලක් තිබේ. නිල වියදම එකකි. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයෝ මැතිවරණ ප‍්‍රචාරණය සඳහා නොනිල වශයෙන් කරන අති විශාල වියදමක් ද තිබේ. ණය කන්දක හිරවී සිටින ශ‍්‍රී ලංකාව මැතිවරණ පෝලිමකට මුහුණදීමට සමත් වනු ඇත්දැයි සාකච්ඡා කළ යුතුය. 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දී අධිකරණ තීරණයක් අනුව තාවකාලිකව අත්හිටුවන ලද ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්දයද පැවැත්විය යුතු ලැයිස්තුවේ තිබේ. එය අධිකරණයෙන් නියම කළ යුතුය. පළාත් සභා ඡන්දය ප‍්‍රමාද වී ඇත. මැතිවරණ කොමිසමට තීරණයක් ගැනීමට අපහසු අන්දමට එය අවහිර වී තිබේ. ජනාධිපතිවරණය මෙම වසරේ දී යෝජිතය. අවුරුදු හතර හමාරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට අවස්ථාව ඇත. අනෙක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තීරණය කළහොත් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කිරීමට බැරිකමක් නැත. මෙම තීන්දු 2019 වසරේ දී ගැනෙන්නට ඉඩ තිබේ.

මෙකී මැතිවරණ වෙනුවෙන් ආණ්ඩුව වැය කරන සහ අපේක්ෂකයන් විසි කරන මුදල් සම්භාරය ආර්ථිකයට කරන බලපෑම බරපතළය. මැතිවරණ සූදානම තිබිය දී සාමාන්‍යයෙන් සිදුවන නිෂ්පාදන හා සේවා ක‍්‍රියාවලියට බාධා සිදුවෙයි. සංවර්ධන යෝජනා ක‍්‍රම තාවකාලිකව අඩපණ වෙයි. එය නුසුදුසු තත්ත්වයකි. වසර දෙකක් අවම ආර්ථික වර්ධනයක  පැවැති රටක් ඡන්ද කලබල හමුවේ තවදුරටත් අඩාල වීම අපේක්ෂා කළ යුතු නැත. 

ඡන්ද පවැත්වීම කෙසේ වෙතත් පවතින දුර්වල ආර්ථිකය වෙනස් කරන ප‍්‍රතිසංස්කරණ යෝජනා වන වසර තුළ ක‍්‍රියාත්මක විය යුතුය.  වැදගත් තීරණ ගෙන ප‍්‍රතිසංස්කරණවලින් රට වෙනස් කළ හැකිය. නමුත් එය ජනප‍්‍රියත්වය තර කරන කාරණයක් නොවේ. ඉතිහාසයේ සිට ආපසු හැරී බලන විට මෙරට පැවැති සෑම ආණ්ඩුවක්ම මැතිවරණවලට මුහුණ දෙන්නේ කලින් සූදානමක් සහිතවය. ජනතාව සතුටු කරන පියවර ගන්නා අතර හැකි තරම් සහන ප‍්‍රකාශයට පත් කරයි. එවැනි පියවර වෙනුවෙන් ආණ්ඩුව සතු අන්තිම සතයත් වියදම් කරන්නට දේශපාලකයෝ සූදානම්ය. එවැනි පියවර අනුගමනය කර හැකියාවක් ඇති පළමු අවස්ථාවේ දීම අලුත් ජන වරමක් ලබා ගැනීම වත්මන් ආණ්ඩුවට ඉතාම වාසිදායක තීරණයක් විය හැකිය. එහෙයින් 2019 අවුරැද්ද සහන ප‍්‍රකාශයට පත් වන, ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට ඉඩක් නැති මැතිවරණ වසරක් වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පවතින්නේ ඉතාම දුර්වල අඩියකය. 2017 වසරේ ආර්ථිකය පෙන්නුම් කළේ වසර 16කට පසු අඩුම වර්ධනයකි. ලැබෙන වාර්තා අනුව 2018 වසර ද ඒ හා සමානය. එනම් සියයට තුනක පමණ වර්ධනයකි. ඉකුත් වසර හැත්තෑව තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ සාමාන්‍ය සියයට පහකි. එයට වඩා සියයට දෙකක අඩු වර්ධනයේ ප‍්‍රතිඵලය සමාජයට බෙහෙවින් දැනෙන එකකි. රැකී රක්ෂා අවස්ථා අඩුය. බදු ආදායම පහළ වැටී ඇති අතර එය රජයේ ආදායම දුර්වල කර තිබේ. එවැනි පසුබිමක් තුළ මැතිවරණවලින් කරන වියදම් රටට ඉතා නරක දසාවක් උදා කරන බව නිසැකය.

මැතිවරණ පවත්වන සූදානම ආර්ථිකයට නරක එකක් වෙන්නේ ඇයි? පසුගිය පළාත් පාලන මැතිවරණයට මැතිවරණ කොමිසම රැපියල් බිලියන 3.5 ක් ඇස්තමේන්තු කළේය. එය බිලියන හතර ඉක්මවීය. එයට කලින් පැවැති ජනාධිපතිවරණයට මැතිවරණ කොමිසම ඇතුළු සම්පූර්ණ රජයේ වියදම රුපියල් බිලියන 10.5 ක් බව අනාවරණය වෙයි. සෘජු වියදම රැපියල් බිලියන 2.5 ක් වන විට අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවලින් කරන ලද වක‍්‍ර වියදම තවත් බිලියන අටක් බව වාර්තාවල දැක්වෙයි. මැතිවරණයක දී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් කරන වියදමක් ඇත. එය ගණන් බලන්නේ නැත. සෑම මැතිවරණ කොට්ඨාසයක් පාසා කරන ප‍්‍රචාරණය, ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් කරන ප‍්‍රචාරක වියදම් සහ ආධාරකරැවන් නඩත්තු කිරීමට කරන වියදම සුළුපටු නොවේ. මැති ඇමැතිවරැ මෙම වියදම්වලට ධනය සොයන්නේ කෙසේද? නියම් හා අනියම් මාර්ග තිබේ. තමන්ට හිමි වාහන බලපත‍්‍රය විකිණීමේ සිට දූෂිත මාර්ගවලින් කළු සල්ලි එකතු කරගැනීම දක්වා සෑහෙන පරාසයක් දක්වා විහි දී තිබේ.

මැතිවරණවල රාජ්‍ය පිරිවැය හා අපේක්ෂකයන්ගේ පිරිවැය දෙකම එකතුවී අවසානයේ පාරිභෝගික ජනතාව ගෙවන වන්දියක් බව සඳහන් කළ යුතුය. රජයේ වියදම් කෙළින්ම මහා භාණ්ඩාගාරයෙන්ය. එම ආදායම හැදෙන්නේ බදු එකතුවෙන් වන අතර රජයේ සෑම  ගමේ දේශපාලනඥයාට අත යටින් ආධාර කරන හැම ව්‍යාපාරිකයාම එම මුදල ආපසු උපයන්නේ ඔහුගේ ගනුදෙනුකරැවන්ගෙන්ය. බේකරියෙන් ආධාරකරැවන්ට පාන් සංග‍්‍රහයක් කරන හිතවත් පාක්ෂිකයා එය නැවත උපයා ගන්නේ තමන් කරන වෙළඳාමෙන් බව අමතක කළ යුතු නැත. මෙම අවුරැද්දේ මැතිවරණ වෙනුවෙන් හැදෙන ආර්ථිකය ජනතාව බර දරන එකක් බව මෙයින් පැහැදිලි වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ව්‍යාපාරවලට කරන අති විශාල වියදම පාලනය කළ හොත් ජනතාවට දරාගන්නට සිදුවන බර අඩු කළ හැකිය. සාමාන්‍යයෙන් ප‍්‍රාදේශීය සභාවක අපේක්ෂකයකු මැතිවරණයකට කරන වියදම කොපමණද? පළාත් සභා අපේක්ෂකයෙකු හෝ පාර්ලිමේන්තු ඡන්දයේ අපේක්ෂකයකු දිස්ත‍්‍රික්කයක් පුරා ඡන්ද සටන පවත්වන්නට කරන වියදම කොපමණ විශාල එකක්ද? මේවා නිල වශයෙන් එළි දැක්වෙන්නේ නැත. 

පොදු රාජ්‍ය මණ්ඩල නියෝජිත පිරිසක් 2015 වසරේ දී ශ‍්‍රී ලංකාවේ මැතිවරණ  ක‍්‍රියාවලිය නිරීක්ෂණය කළේය. එම නිරීක්ෂකයන් අවසාන වාර්තාවක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දී තිබේ. අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම එම වාර්තාවේ සඳහන් කරුණු අතර ප‍්‍රධාන එකකි. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් පරිහරණය කරන මුදල් ලැබෙන ආකාරය එම නියෝජිතයෝ ප‍්‍රශ්න කර තිබේ. අරමුදල් උපයා ගන්නා ආකාරය විනිවිද නොපෙනෙන බව තරයේ අවධාරණය කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උසස් පැවැත්ම උදෙසා පක්ෂවලට ආධාර ලබා ගන්නා විනිවිද පෙනෙන යාන්ත‍්‍රණයක් හා අපේක්ෂකයන් කරන වියදම සාධාරණීකරණය කරන ප‍්‍රතිපත්ති  එකී වාර්තාවෙන් මෙරට දේශපාලනයට යෝජනා කර තිබේ. ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ අදහස් ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කිසිසේත් අවධානයට ගෙන නැත. ඕනෑම දූෂිත මාර්ගයක්න් ධනය උපයා ගෙන මෙහෙයවන මැතිවරණ ව්‍යාපාරයකින් සාධාරණ සමාජයක් හදන්නේ කෙසේද? එම කාරණය ප‍්‍රශ්න කරන්නට ඡන්ද දායකයෝ සූදානම් නැත. විශාල වශයෙන් ධනය විසි කරන පක්ෂ හා අපේක්ෂකයන් ඉහළින් තැබීමට වැඩිදුර නොසිතන ඡන්ද දායකයන් තීරණය කරන බව පෙනේ. එය කණගාටුදායක තත්ත්වයකි.

2019 වසරේ පැවැත්වීමට නියමිත ප‍්‍රධාන මැතිවරණ තුනක් වෙනුවෙන් රට තුළ වියදම් කරන ධනය කොපමණ විශාල එකක් විය හැකිද? සමහර විට මෙම මුදල් එකතු කළහොත් මෙරට පාඩු ලබන ආයතනවල සම්පූර්ණ ණය ගත හැකිය. ආණ්ඩුවේ වාර්තා පෙන්වන අන්දමට ඛණිජ තෙල් සංස්ථාව සතු ගෙවා නැති දෙස් විදෙස් ණය ප‍්‍රමාණය රැපියල් බිලියන 385 කි. ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ගෙවන්නට ඇති ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 317 ක් වන අතර විදුලිය බල මණ්ඩලයේ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 230 කි. අපේක්ෂකයන් තුන් හාර දහසක් මෙම මැතිවරණ තුන වෙනුවෙන් කරන වියදම මේ හා සමාන වන්නට ඉඩ තිබේ. නොඑසේනම් සම්පූර්ණ සමෘද්ධි සහන ගෙවන්නට මැතිවරණ වියදම රටට ප‍්‍රමාණවත් වනු ඇති අතර ඉතිරියක් වෙතොත් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ද යමක් වියදම් කරන්නට බැරිකමක් නැත.

ශ‍්‍රී ලංකාවේ පැවැත්ම ගැන අලුතින් හිතන්නට අවශ්‍යය. මැතිවරණ වියදම් පාලනය කරන පියවරක් යෝජනා කළ යුතුය. සෑම දේශපාලන පක්ෂයක්ම, සෑම අපේක්ෂකයෙකුම ජනතාවට වගකියන මැතිවරණ වියදම් ප‍්‍රතිපත්තියකට යා යුතුව තිබේ. මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලැබෙන පරිත්‍යාග සියල්ල ප‍්‍රසිද්ධ කරන්නට අවශ්‍යය. අනෙක අපේක්ෂක වියදම් උපරිමයක් ලකුණු කළ යුතුය. ධනය ඇති, ඕනෑම ක‍්‍රමයකින් සල්ලි විසි කළ හැකි අපේක්ෂකයන්ට කැපී පෙනෙන ප‍්‍රචාරණයකට අවස්ථාව ලබා දී ඔවුන් ජයග‍්‍රහණය කළ යුතු ඇයි? අසාධාරණ මුදල් රහිත සාමාන්‍ය අපේක්ෂකයන්ට එයින් සිදුවන අසාධාරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනශ කරන ලක්ෂණයක් වශයෙන් නොසලකන්නේ ඇයි? මැතිවරණ තුනක් ඇති බව අඟවන අවස්ථාවක මෙම පැති ගැන පුළුල්ව සාකච්ඡා කළ යුතුය. සාධාරණ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් මෙරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ තමන්ගේ යුක්ති සහගත අභිප‍්‍රාය වහා පළ කරන්නට අවශ්‍යය.

මෑත කාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරනු සඳහා පියවර ගණනාවක් ගෙන තිබේ. තොරතුරැ දැනගැනීමේ අයිතිය එයින් එකකි. පක්ෂ හා අපේක්ෂකයන් මැතිවරණ වලට වියදම් කරන මුදල හා ඒවා උපයා ගත්තේ කෙසේදැයි සොයන්නට ඡන්ද දායකයන්ට පුළුවන්කමක් තිබේ. දූෂණ හා වංචා සම්බන්ධ ස්වාධීන කොමිසමක් ඇත. දේශපාලකයන් අති විශාල ධනයක් වියදම් කරන්නේ  කෙසේදැයි සොයා බලන්නට අලුතින් පිහිටුවන ලද යාන්ත‍්‍රණවලට බලවත් වගකීමක් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට එය බලපාන අතර ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට මැතිවරණවලින් එල්ල වන පීඩනය පාලනය කරන මාර්ගයක් ද වනු ඇත

 ගාමිණී සරත් ගොඩකන්ද
     gsgodakanda@gmail.com

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30