2019 ජනවාරි 05 වන සෙනසුරාදා

පාසලේදීත් වැඩ දැමූ web බුවා

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 196

බුකියේ පේජ් කලාවේ කප් ගැසූ චරිත පිළිබඳ තතු විත්ති අපි ඔබට කියමු. පසුගිය අපේ කතාවට එක්වූ (ඇඩ්‍රස් නෑ) රනිල් අපට මේ සතියේ අලුත් මිතුරකු හඳුන්වා දුන්නේය. ඔහු බුකියේ කා අතරත් ප්‍රකට වෙබ් බුවාය. මේ වෙබ් බුවාගේ කතාවයි.

ඔහු නමින් තිළිණ කලුතොටගේය. (වෙබ් බුවා) පිටුව නිර්මාණය කර අද දක්වාම පවත්වාගෙන එන්නේ ඔහු විසිනි. වයස අවුරුදු විසි දෙකක තරුණයෙක් වන තිළිණ  අධ්‍යාපනය හදාරන අතරතුර අමතර රැකියාවක ද නිරත වෙයි. තිළිණ බුකියේ පිටු තනන්නේ 2014 වර්ෂයේදීය. එය අනපේක්ෂිත ලෙස අන් පබ්ලිෂ් වෙයි. ඒ වනවිට එක්ලක්ෂ පනස් දහසක් පමණ ලයික් ප්‍රමාණයක් එම පිටුවට ලැබී තිබිණි.

"මුලින්ම අපි පේජ් කරන සෙට් එකේ හිටියා. ඉස්සෙල්ලාම පේජ් ටික අපි කට්ටියක් එකතුවෙලා කළේ. ඒවා අපි කට්ටියට මඟහැරුණු නිසා අන් පබ්ලිෂ් වුණා. ඊට පස්සේ අපි කට්ටිය තනියෙන් පටන් ගත්තා. එහෙම තමයි අපි ආවේ."
බොහෝ පේජ්කරුවන්ට මෙයට යොමුවීමට ආසාව මෙන්ම අවස්ථාවද සැලසුණේ තම ප්‍රොෆයිල් එකේ දැමූ නිර්මාණාත්මක වැකි, පෝස්ට්වලට ලැබුණු ප්‍රතිචාර හරහාය. තිළිණ, (වෙබ් බුවා) රටේම ප්‍රසිද්ධ වන්නේ ද මේ හේතුව නිසාමය. තිළිණ මුල්කාලීනව දැමූ පෝස්ට්වලට බොහෝ දෙනාගේ ප්‍රතිචාර ලැබුණි. එමෙන්ම බොහෝ දෙනා පේජ් එකක් පටන් ගන්නා ලෙස ඔහුට ආරාධනා කළහ. (වෙබ් බුවා) නිර්මාණය වන්නේ ඒ අනුවය.

(වෙබ් බුවා) යනු තරමක් අමුතු නමකි. මේ පිටුවට එම නම ලැබුණු ආකාරය පිළිබඳව ද අපූරු කතාවක් තිබේ. ඒ තිළිණගේ පාසල් සමයයි.

"මං ඉස්කෝලේ යන කාලේ හැමදාම මොකක් හරි කම්පියුටර් එකක් කැඩුණොත්, මොනවා හරි වුණොත් කතා කරන්නේ මට තමා. එහෙම කතා කරලා, කතා කරලා පස්සේ මට ඉස්කෝලේ කතා කළේ වෙබ් බුවා කියලා."

මේ අනුව බලන විට වෙබ් බුවා රියල්ම වෙබ් බුවෙකි. පාසල් කාලයේ ඔහු ICT විෂයට දක්ෂයෙක් විය. පාසලේ දී වැටුණු නම හිතවත් ගුරුවරුන් හරහා ගෙදරටත් ආරංචි වී තිබුණි. නිවෙසේදී පරිගණකය සමඟ ලොකු ගනුදෙනුවක් තිළිණට තිබුණු නිසාම ගෙදරදීද ‍විටෙක වෙබ් බුවා යන නමින් ඔහු අමතනු ලැබීය. මේ නිසාම බුකියේ පිටුවක් නිර්මාණය කිරීමට තිළිණට පහළ වූ අදහසත් සමඟ මෙම පිටුවට (වෙබ් බුවා) යන නම ලැබුණි.

කැපවීමෙන් නිර්මාණය කළ පළමුවැනි පිටුව අහිමිවීමෙන් තිළිණ විශාල අමාරුවක වැටුණේය. බුකියේ ඇතැමුන් කීවේ ඔහු පිටුව විකුණා ඇති බවයි. එවිට පිටුව අන් පබ්ලිෂ් වී ඇති බව ඔප්පු කිරීමට ස්ක්‍රීන් ෂොට් පවා ඔවුන්ට පෙන්වීමට සිදුවිය. ඒ කෙසේ වුවද ඔහු උත්සාහය අත නොහැරියේය. නැවත 2016දී පිටුවක් නිර්මාණය කළේය. වෙබ් බුවාගේ නැවත ආගමනය අතිශය සාර්ථක විය. බුකීවාසීන්ගේ ජනාදරයට වෙබ් බුවා පාත්‍ර වූයේ ඉතා ඉක්මනින්ය.

"සාමාන්‍යයෙන් සතියකට ලයික් හත්දාහක් හයදාහක් එනවා. මුල ඉඳන්ම මං ඒ තැන හදාගෙන ආවේ. සතියකට රීච් එක්ලක්ෂ තිහක් විතර තියෙනවා." 

අද වනවිට තුන්ලක්ෂ අසූ දහසකට ආසන්න ලයික් ප්‍රමාණයක් පවතී. තිළිණට පේජ් කෙරුවාවේදී අපූරු සිදුවීමකට මුහුණදීමට සිදුව තිබේ. එය රසවත් කතාවකි. පාර්ලිමේන්තුවේ ගැටුම් ඇතිවූ පසුගිය කාලයේ වෙබ් බුවා දැමූ එක් පෝස්ට්ටුවකට අනුව කියැවුණේ දැන් බෝට්ටුවකින්, නැතිනම් පාරුවකින් හෝ ඔස්ට්‍රේලියාවට යා යුතු බවය. මෙය සරල හාස්‍යයක් මතුවන මෙරට දේශපාලන භාවිතය පිළිබඳ වූ පෝස්ට්ටුවකි. එහෙත් එය කොතරම් ජනප්‍රිය වීද යත් ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට ද එය ආරංචි විය.

"මම දැම්මේ කොමිකල් විදිහට. ඒක ඒගොල්ලෝ සීරියස් අරන්. එම්බසියෙන් නිවේදනයක් දාල තිබ්බා මෙහෙම එකක් අපි දැම්මේ නෑ කියලා. ඒගොල්ලෝ පස්සේ තේරුම් ගත්තා මේක විනෝද වෙන්න දාපු එකක්  කියලා. මුලින් ඒගොල්ලෝ හිතලා තියෙන්නේ ඇත්තටම ඔස්ට්‍රේලියාවට හොරෙන් මිනිසුන් අරන් යනවා කියලා."

(වෙබ් බුවා) පිටුව තිළිණ කරගෙන යන්නේ තනිවමය. ඔහු ඉදිරිපත් කරන්නේ තමන්ගේ අදහස් අනුව සැකසූ පෝස්ට්ය. කොපි කිරීම ඔහුගේ භාවිතය නොවෙයි. අදහස් ආවොත් පමණක් ඔහු එය ඉදිරිපත් කරයි. එය වෙබ් බුවාගේ විශේෂත්වය බව ඔහු කියයි. සාමාන්‍යයෙන් දවසකට පෝස්ට් හය හතක් වෙබ් බුවා දමයි. එකදු පෝස්ට්ටුවක්වත් දමන්නට නොහැකි වන දවස් ද තිබේ. මන්ද, පිටුවේ පෝස්ට් ෂෙඩුල් කිරීමක් වෙබ් බුවා සිදුනොකරයි. සිතේ ඇතිවන සිතුවිල්ල එවෙලේම සකසා පෝස්ට් කිරීම ඔහුගේ සිරිතය.

පේජ් ඇඩ්මින් සෙට් එක අතර තියෙන හිතවත්කම පිළිබඳවත් කලින් කලට සිදුවන හමුවීම් පිළිබඳවත් තිළිණ අප සමඟ කතා කරයි. එමෙන්ම පේජ් එකකින් සිදුකළ හැකි සමාජ මෙහෙවර ගැන ඔහුගේ විශාල අවධානයක් පවතී. සමාජ ජාලවලින් විශාල බලපෑමක් රටට සිදුවෙන නිසා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කරනු ලබයි. ආපදා අවස්ථාවලදී පෙරට විත් ආධාර උපකාර කළ සමාජජාල , ක්‍රියාකාරීන් අතර වෙබ් බුවා ද ඉහළින්ම සිටියි.

"අලුතින් එන පේජ් ඇඩ්මින්ලා ගොඩක් අය හරි විදිහට පේජ් එක කරන්නේ නෑ. ඒගොල්ලෝ ගොඩක් බලන්නේ ව්‍යාජ දෙයක් දාල හරි තමන්ගේ ලයික් ටික හදාගන්න. එහෙම වුණාම හැමෝම පේජ් කරන කට්ටිය එක ගොඩකට දාලා සලකන ගතියක් ඇවිල්ල තියෙනවා."

පෞද්ගලික තරහ මරහ පිරිමසාගැනීමටත්, වෙනත් අව්‍යාජ අරමුණුවලිනුත් පේජ් නිර්මාණය වීම හරහා පේජ් කලාවට සිදුව ඇත්තේ අයහපතකි. (වෙබ් බුවා) මතු කරන්නේ එම කාරණාය. එමෙන්ම දේශපාලනික වාදවලදී නිවැරදි දෙය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ඔහු පවසයි. තමන්ගේ පෞද්ගලික දේශපාලන මතවාදයට වඩා පොදු බවකින් යුතුව වැඩ කිරීමට තිළිණ සිය පිටුව තුළ දී උත්සාහ දරයි.

(වෙබ් බුවා) යනු භද්‍ර යෞවනයේ සිටින තරුණයෙකි. ඔහු මුල්කාලීනව විදේශයන්ගේ සමාජ ජාල භාවිතය දෙස බලා සිට බොහෝ දැනුමක් ලබා සිටියි. වර්තමාන සමාජ භාවිතාවේ ඇතිව තිබෙන අර්බුද, අඩුපාඩු ඔහු දකියි. අසහනකාරී ලෙස සමාජ භාවිතයට,  වාණිජත්වයට බොහෝ දෙනා නතුවීම ආදිය හරහා සිදුවන අයහපත ඔහු දකිමින් සිටියි. යහපත් සමාජ ජාල භාවිතය හරහා විනෝදය මෙන්ම අවබෝධය ලැබෙනු ඇත. වෙබ් බුවාගේ ගමන ඒ වෙනුවෙන්ය.

I චමිඳු නිසල්

 

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30