2019 ජනවාරි 05 වන සෙනසුරාදා

දිනකට ලක්ෂ 91ක් හොයන : දුසිම්බාගයක් දරුවන් රකින ඇන්ජලිනා ජොලි

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

කිසියම් කලා මාධ්‍යයකින් නිතර නම කියැවෙන තැනැත්තකු බවට පත්ව දෙවනුව දේශ පාලනයට එක්වීම මේ කාලයේ ජනප්‍රිය විලාසිතාවකි. අපේ රටේ උදාහරණ එමට ඇතත් මේ සම්බන්ධයෙන් දකුණු ඉන්දිය සිනමාවේ අපට ඇති උදාහරණයට ඒ සියල්ල යටත්ය. ඒ තමිල්නාඩුවේ අම්මා හෙවත් ජයලලිතා ජයරාම් දේශපාලන කරළියේ කළ පෙරැළියේ වගතුගයි. දැන් පෙනීයන හැටියට හොලිවුඩය පැත්තෙන් ද  එබඳු හෙයියම්මාරුවක ලකුණු පහළ වී තිබේ. හොලිවුඩයේ සුපිරි පුවත් මවන්නියක වන ඇන්ජලීනා ජොලි දේශපාලනයට එන බවට පසුගිය සතියේ ඉඟි පල කිරීමත් සමඟිනි. නමුත් දේශපාලනයට එන්නට හදන්නේ හත් මුතු පරම්පරාවටම සෑහෙන්නට මහජන මුදල් පොදි ගසන්නට නම් නොවේ. ඇය දැනටමත් බරසාර කෝටිපතිනියකි.

ඇන්ජලිනා ජොලි නැතිනම් ඇන්ජි මොලොවදීම සුරසැප විඳිනා කිහිප දෙනා අතරින් ප්‍රධාන තැනැක් ගන්නා තැනැත්තියකි. ඇගේ ජීවන විලාසිතාවට සමකළ හැකි තත්ත්වයේ සුපිරි ජිවිත ගත කරන්නේ මිහිපිට අතලොස්සකි. ඇය 1975 ජුනි 04 උපන්නේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්වලය. බෙවර්ලි හිල්ස් උසස් පාසලෙන් උගත් ඈ වර්තමානයේ ඩොලර් මිලියන 15 - 20 අතර වැටුපක් චිත්‍රපටවල රඟපෑම සඳහා අය කරන ප්‍රකෝටිපතිනියකි. චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයටත් ඈ දැන් අතගසා හමාරය. ඇගේ මුළු වටිනාකම  ඩොලර් මිලියන 240ත් ඉක්මවා යයි. වඩාත් ජනප්‍රිය වූ “ටෝම්බ් රෙයිඩර්” හි ලාරා ක්‍රොප්ට්  චරිතය රඟපෑමට ඈ අයකර ඇත්තේ ඩොලර් මිලියන 07කි. පසුකාලිනව ඇය ඒ සඳහා මිලියන 12ක් අයකළ අවස්ථා ද වාර්තාගතය. සෝල්ට් චිත්‍රපටයට මිලියන 20ක් අයකර තිබේ. ඈ රඟපෑ සෑම චිත්‍රපටයක්ම පාහේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලූ ඒවාය. ඇගේ  දිනක ආදායම අවම වශයෙන් ඩොලර් 50000කි. එනම් ලංකාවේ මුදලින් ලක්ෂ 91කි.

ඇන්ජලිනා සතුව සුපිරි නිවාස සහ බංගලා ගණනාවකි. මිලියන 16ක් වටිනා හදවත් හැඩය ගත් දූපත් බංගලාව ඒ අතරින් ප්‍රමුඛය. ලොස් ෆෙලීස්හි පිහිටි නවීන නිවස මිලියන 15.6කි. මිලිබූවල පිහිටි වෙරලාසන්න සුව නිවහන මිලියන 13.07ක් වටිනා එකකි. නිව් ඔර්ලියන්ස්වල ද ඇයට මිලියන 5.65ක් වටිනා නිවසක් තිබේ. මිලියන 40ක් වටිනා විලා කොස්ටාන්සා හි  නිවස ද අති නවීන පහසුකම් පිරි මාලිගාවකි.

ඇන්ජි විවිධ මෝටර් රථ පෙලක්ම භාවිතා කරයි. බී.එම්.ඩබ්ලිව්. හයිඩ්‍රජන් 7 ඒ අතර ප්‍රමුඛය. චැවලට් තාහොයි රථයක් ද ඈ සතුය. ඒ හැර  FORD Explorer, Rang Rover, Jaguar XJ, Audi Q7, පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් ද ඈ සතුය. ඇයට SR22 Cirrus පෞද්ගලික ජෙට් යානයක් ද ඇත.

ඇගේ ප්‍රේම පුරාණය ද කසාද දික්කසාද පිරුණූ විවිධත්වය රැඳි එකකි. ජොනී ලි මිලර් සමඟ 1996 මාර්තුවේ විවාහ වූ ඇය 1999 පෙබරවාරි වන විට දික්කසාද විය. ඉන්පසු බිලි බොබ් තොර්න්ටන් සමඟ 2000දී ඇරඹුණු විවාහය කල් ඇලුවේද අවුරුදු 03කි. ඇගේ ඊළඟ  තෝරාගැනීම බ්‍රැඩ් පිට්ය. 2014 ඇරුඹුණු ඒ පෙම් කතාවට ද දැන් අවසන් තිත තබා හමාරය. මේ දෙදෙනාම එක්ව ප්‍රජා සත්කාර සේවා සඳහා ඩොලර් මිලියන 08ක් පරිත්‍යාග කර තිබුණි. තමන්ගේම දියණියකට ඈ උපත ලබාදුන්නේ 2006දීය. 2008දී නිවුන් දරු උණුසුම ඇයට ලැබුණි. නමුත් විවිධ භාෂා කතා කරන විවිධ සංස්කෘතික මූලයන් සහිත දරුවන් හය දෙනෙකුගේම භරකාර මාතාව ඇයයි.

මුලින්ම ඈ තෝරාගත්තේ කාම්බෝජයේ අනාථ නිවසක සිටි මැඩොක්ස් චිවාන්ය. 2002 වසරේ ඔහු ලබාගන්නා විට යාන්තම් මාස 07ක අතදරුවෙකි. ඉතියෝපියාවේ අනාථ නිවසකින් මාස 6ක් වූ සහාරා මාලේ ඈ තමන් තුරුලට ගත්තේ 2005දීය. 2006දී තමන්ගේම දියණිය වූ සිලොහ් නොවර් හට ඈ උපත දුන්නාය. 2007දී ඈ හෝ චි මින්ග් නගරයේ අනාථ නිවසකින් පැක්ස් තියෙන් තුන්හැවිරිදි වියේදී දරුකමට ගත්තාය. මේ අසීමිත දාරක ප්‍රේමය නිසාදෝ ඇයට 2008දී නිවුන් දරුවන් ලැබුණි. ක්නොග්ස් ලියෝන් පුතා සහ දුව විවියෙන්ය.

ඇන්ජි හෙවත් ඒ.ජේ ලොව පුරා මානව හිමිකම් වෙනුවෙන් ද කැප වූ ක්‍රියාකාරිනියකි. ඇය ලංකාවට ද දූත ගමනක් පැමිණියාය. ඇගේ කැමැතිම ටෙලි විෂන් වැඩසටහන King of the Hill ය. කැමැතිම ටෙලි නාලිකා වන්නේ ANIMAL PLANET සහ GAME SHOW NETWORKය.  MADDONA, FRANK SINATRA JR., ELVIS PRESLEY, THE CLASH ප්‍රියතම සංගිත ශීල්පීන්ය. පොත් කියවීම විනෝදාංශය කරගත් ඇගේ ප්‍රියතම ලේඛිකාව අයින් රැන්ඩ්ය. ප්‍රියතම ග්‍රන්ථය එම්.ජේ. ත්‍රොව් ලියූ ඩ්‍රැකියුලා සොයා යාම හෙවත් VLAD THE IMPALER ග්‍රන්ථයයි. “හනි නට් චෙරියෝස් සහ මැක්ඩොනල්ඩ්ස්” කෑමට ඈ ඉතා ප්‍රියකරයි. කළු ප්‍රියතම පාට ලෙස තෝරාගත් ඇය බුල්ඩෝග් බල්ලන්ට ඉතා ප්‍රියය. කැමතිම සුවඳ විලවුන් මාදිලිය හැටියට ඈ තෝරාගෙන ඇත්තේ “කැරොලිනා හෙරේරා” ලෝප්‍රකට මිල අධික විලවුන් වර්ගයයි. ටෙක්‍යූලා ඇගේ කැමැත්ත දිනූ පානයයි. වඩාත් අපූර්වතම කාරණය ඇගේ මව පියා මෙන්ම වැඩිමල් සොයුරා ද නළු නිළියන් වීමය.

►සුගත් පී. කුලතුංග ආරච්චි