2019 ජනවාරි 05 වන සෙනසුරාදා

බෙහෙත් හිඟය දරුණුයි

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 6

අදහන්නට බැරි විස්කම් කරන වෛද්‍ය සේවයේ විරල සිදුවීම් පිළිබඳව විටින් විට අසන්නට ලැබේ. මේ සඳහා දායක වන හෙද සේවයේ මැදිහත් වීමද විශේෂය. සියල්ල මැද භාවිතයට ගන්නා ඖෂධ විස්මය දනවන දිවඔසු වැනිය. යමකුගේ රෝගී තත්ත්වයක් පාලනය කිරීමට, නිවාරණය කිරීමට පමණක් නොව කෙනකුගේ ජීවිතය පිළිබඳ අදහසක් බලාපොරොත්තුවක් ඇතිකිරීමට එම ඖෂධවලට හැකිය. මේ සටහන එවැනි ඖෂධ පිළිබඳ වර්ණනාවක් නොවුණද, රට පුරා රෝහල්, සෞඛ්‍ය ආයතන හා ඔසුසල් ඇතුළු සියලු ඖෂධ අලෙවිසල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳ වාර්තාවකි.

මේ වනවිටත් රට පුරා පවතින රෝහල් ඇතුළු සෙසු සෞඛ්‍ය සේවා සපයන සෑම ආයතනයකම බරපතළ ඖෂධ හිඟයක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එච්.එම්.එම්. රූමි මහතා සඳහන් කළේ පිළිකා රෝගීන්ට ලබාදෙන විශේෂ ඖෂධ වර්ග ඇතුළුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 85ක් සහ සෙසු ඖෂධ 115ක් පමණ හිඟවී පවතින බවය. මෙසේ බරපතළ ලෙස ඖෂධ හිඟයක් ඇතිවීමට බලපෑ ප්‍රධානම කාරණය වශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ පසුගිය ඔක්තෝබර් 26 දා සිට මාස දෙකක් පමණ රටේ පැවති අස්ථාවර දේශපාලන තත්ත්වය බවය. ඉදිරියේදී මේ තත්ත්වය විශාල ගැටලුවක් නොවීමට නම් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ගුවන් මගින් ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

පිළිකා, වකුගඩු සහ හෘදරෝග වැනි බරපතළ රෝගීන්ගේ භාවිතය සඳහා ගන්නා ඖෂධ මෙන්ම ශ්වසන රෝග හා විටමින් ඌනතාවලට අවශ්‍ය කරන ඖෂධ රහිත හිඟයක් රජයේ රෝහල් හා ඔසුසල් ආශ්‍රිතව පවතින බව වාර්තා වී තිබේ. පෞද්ගලික ඖෂධසල් තුළත් මෙකී ඖෂධ හිඟය උද්ගත වී ඇති බැවින් මුදලට හෝ ඒවා මිලදී ගැනීමට නොමැති බව වාර්තා වේ. මීට ඉහතදී ඖෂධ හිඟයක් වාර්තා වුවද එවැනි අවස්ථාවලදී රජයේ රෝහල් හරහා අත්‍යාවශ්‍ය ස්ථානවලට ඖෂධ හුවමාරු කරගෙන තිබුණද, වර්තමානයේ සෑම රෝහලකම පාහේ ඖෂධ හිඟවීම හේතුවෙන් හුවමාරැ කිරීමට හෝ අවස්ථාවක් නැති බව ආචාර්ය එච්.එම්.එම්. රූමි මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් පහත සඳහන් Alfacalcidol Capsules, Bleomycin injections, Capacitabine Tablets, Carboplatin injections, Chlorambucil Tablets, Cytarabine injections, Dacarbazine injection, Dextrose injections 50% Human Albumin injections, Hydroxyurea Capsules, Imipenem injections, Ipratropium Bromide Respiratory solutions, Mereaptopurine tablets, Mesalazine tablets, Morplhine 10mg tablets, Tramadol injections, Tranexamic Acid Capsules Vincristine injections and Zoledronic Acid injections නැමැති ඖෂධවල හිඟයක් පවතින බවට පැව‍ෙස්.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ පිළිබඳව මෙසේද පැවසීය.

"දැනට ඖෂධ හිඟයක් තිබෙනවා තමයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 85ක් හිඟවී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වර්ග කිහිපය වහාම ලබාගන්න කටයුතු කරමින් ඉන්නවා. අමාත්‍යාංශයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්වුණු නිසා එතනත් යම් ප්‍රමාදයක් තිබුණා. ඒක සමතයකට පත්වූ වහාම අවශ්‍ය පියවර ගන්නවා. දිවයින පුරාම ඖෂධ හිඟය පවතිනවා. ඇතැම් රෝහල්වල ඖෂධ තිබෙනවා. තිබෙන ස්ථානවලින් වෙනත් රෝහල්වලට හුවමාරු කරගෙන යනවා. නමුත් ඒක වැඩි දවසක් කරන්න බෑ. හැකි ඉක්මනින් ගෙන්වන්න වෙනවා. පසුගිය අඟහරුවාදාත් මේ පිළිබඳ සාකච්ඡා කළා. මේ තත්ත්වය සහමුලින්ම මගහැරෙන එකක් නෑ. එම නිසා අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ප්‍රමුඛතාවය දෙනවා. ඒ නිසා තවත් මාසයක් විතර මේක විසඳීමට කල් ගතවෙයි කියලා විශ්වාස කරනවා. විශේෂයෙන් කියන්න අවශ්‍යයයි, පසුගිය මාස දෙකකට වැඩි කාලයක් පැවති අස්ථාවර දේශපාලන තත්ත්වය නිසා අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලය ක්‍රියාත්මක වුණේ නෑ. දේශපාලන අස්ථාවරය ඇතිවෙන්න කලින් හැම සුමානයකම වෛද්‍ය සැපයුම් අංශය හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා නිලධාරීන් සමඟ සතියකට දිනයක් සාකච්ඡා කරලා අවශ්‍ය ඖෂධ පිළිබඳ තීරණය කරනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. දේශීය හෝ විදේශීය වශයෙන් ගෙන්වීම කළා. ඒ නිසා ගැටලුවක් තිබුණේ නෑ. ඒ දිනවල ඇතැම් සැපයුම්කරුවන්ගේ ගැටලු පමණයි මතුවුණේ. අපි ඒවා වළක්වා ගත්තා. අපි මේ සඳහා අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නවා. රෝගීන් පත්වූ අපහසුතාව පිළිබඳ අපි කනගාටු වෙනවා. ඒක මානුෂීය වශයෙන් විශාල ප්‍රශ්නයක් විදිහට දැක්කා."

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30