2019 ජනවාරි 05 වන සෙනසුරාදා

චාලිට ගිනි තිබ්බේ මොන හිතකින්ද?

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 270

චාලි ඉකුත් 02දා රාත්‍රී වනවිට සමස්ත ලෝකවාසී ජනතාවම මහත් සංවේගයට පත් කරන්නට සමත් විය.

ඒ ඉකුත් දෙසැම්බර් මස 31 වැනි දින අලුයම 2.00ට පමණ එළිය වැටෙමින් තිබූ මොහොතේ චාලි නිදාසිටි අගුලු ලා තිබූ කූඩුවේදීම, භූමිතෙල් - ගිනි ප්‍රහාරයකට ලක්ව, තම සිරුරේ බරපතළ පිළිස්සුම් තුවාල ලබා මිය යාමයි.
චාලි වයස අවුරුදු 01යි මාස 07ක් පමණ වයසැති ලැබ්‍රඩෝර් වර්ගයේ බලු සුරතලෙකි. පියා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර හැදී වැඩුණු අයෙකි. චාලිගේ හාම්පුතා වූයේ මීගමුව, කොප්පරා හන්දිය ප්‍රදේශයේ පදිංචි අසිත වර්ධන නැමැති තරුණයාය. ඔහු සීදුව, ලියනගෙමුල්ල ප්‍රදේශයේ පදිංචි තම මිතුරකු මගින් චාලිව මිලදී ගන්නේ රුපියල් 35,000කටය.

අසිත තම පියා සහ මව සමඟ තනිව ගෙදර හැදී වැඩුණු අතර, චාලිගේ පැමිණීමත් සමඟ මේ සුරතලා පවුලේ බාලයා බවට පත්විය. චාලි එතරම්ම මෙම පවුලට සමීපව හැදී වැඩෙන්නට විය. චාලි වාසය කළ අසිතගේ නිවෙස වටේටම උස් වූ තාප්පයක් ඇති අතර, ඉදිරිපස ගේට්ටුවක් සකසා ඇත්තේ ද චාලිට සුරතල් මෙන්ම කෙළිලොල් අයුරින් මෙම නිවස තුළ ආරක්ෂාකාරීව හැසිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමටය. චාලි දිවා කාලය තුළ එම පරිසරයෙහි නිදහසේ සිටි අතර, කෙළිලොල් බව නිසාම රාත්‍රී කාලය වෙනුවෙන්ම, විශේෂයෙන්ම සැකසූ කූඩුව තුළ නිදාගන්නට සලස්වා තිබුණි.
ඉකුත් දෙසැම්බර් 31 දිනට රැය පහන් වෙමින් තිබුණි. වේලාව අලුයම 2.00 පමණ වෙමින් තිබියදී, හිටිහැටියේම චාලිගේ කූඩුව දෙසින් මර හඬක් නිකුත් වන්නට විය. ඒ වනවිට සුව නින්දේ පසු වූ අසිත ඇතුළු සියලු දෙනා තිගැස්සී අවදි වූයේ මෙම හඬත් සමඟය. අසිත රාත්‍රී නිදාගන්නේ චාලි සිටි කූඩුවට සමීප වූ, එය එක එල්ලේම පහසුවෙන් දැකගත හැකිවන ආකාරයට වූ කාමරයක් තුළය. චාලිගේ කෑගැසීමත් සමඟ අවදි වූ අසිත, චාලිගේ කූඩුව දෙස බලද්දී ඔහු දුටුවේ චාලිගේ කූඩුව ගිනි ජාලාවකින් වෙලී පවතින ආකාරයයි.

වහා ක්‍රියාත්මක වූ අසිත, තම මව සමඟ දිවගියේ චාලිගේ කූඩුව දෙසටය. ඒ වනවිටත් ගිනි ජාලාවකට මැදිව, තම කූඩුව තුළ සිරවී සිටි චාලි කෑ මොර දෙමින් සිටින්නට වූවේය. අසිත බලු කූඩුව අසල තිබූ වැලි ගොඩකින් වැලි ගෙන, බලු කූඩුව තුළට දමා ගසන්නට වූවේය. එයින් මඳකට එහි වූ ගින්න පාලනය වූ අතර, ඒ අවසරයෙන් කූඩුවේ දොර හරින්නට අසිත සමත් විය. ඒ සැණින් චාලි කූඩුවෙන් එළියට පැන අසිත ළඟට දිව ආවේය. ඒ වනවිටත් චාලි දරුණු පිළිස්සුම් තුවාල ලබා සිටියේය.

අසිත වහා ක්‍රියාත්මක වී චාලිව ජලයෙන් නහවන්නට විය. එයින් මඳ අස්වැසිල්ලක් චාලි ලද වහාම, අසිත ප්‍රදේශයේ පශු වෛද්‍යවරයකු සොයාගැනීමට උත්සාහ කළේය. එහෙත් ඒ වේලාව අලුයම් කාලය වූ බැවින්, අසිතගේ ප්‍රයත්නයන් අසාර්ථක විය.  එම සියලු වෛද්‍යවරැන් සුව නින්දේ පසුවන්නට වූයේ අසිතගේ සියලු දුරකතන ඇමතුම්වලට පිළිතුරු ලබා නොදෙමිනි. පසුව අසිත තම මෝටර් රථයෙන් මීගමුව නගර මධ්‍යයේ වූ පශු වෛද්‍යවරයකුගේ නිවෙස වෙත ගොස්, ඔහුට මේ සියල්ල පවසා වේදනානාශක එන්නතක් ලබාගැනීමට සමත් විය. ඉන් පසුව මීගමුව මහ රෝහල වෙත ගිය අසිත, එහි හදිසි අනතුරු වාට්ටුව වෙත ගොස්, එහි වෛද්‍යවරුන්ට මේ බව දන්වා පිළිස්සුම් තුවාල මත ආලේප කිරීමට ආලේපනයක් ලබාගන්නට සමත් විය.

31 වැනිදා උදෑසන වනවිට අසිත ජා - ඇළ ප්‍රදේශයේ පිහිටි තම යහළුවකුට අයිති සත්ත්ව රෝහලක් වෙත චාලිව යොමු කිරීමට සමත් විය. එහිදී එම වෛද්‍යවරුන් චාලිව බේරාගැනීම සඳහා මහත් වෙහෙසක් දැරුවද, නව වසරේ ජනවාරි 01දා දහවල් වනවිට චාලි මේ සියලු දෙනා හැර දමා, සිය අවසන් හුස්ම පොද හෙළීය.

මේ පිළිබඳව පැමිණිල්ලක් මීගමුව පොලීසිය වෙත දෙසැම්බර් මස 31 වැනි දින දහවල්ම ලැබී තිබූ අතර, ඒ පිළිබඳව මේ වනවිට අවශ්‍ය පරීක්ෂණ කටයුතුවලින් 80%ක්ම නිමාවට පත්කර ඇතිබව, මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය. ඊට අමතරව මීගමුව පොලිස් අධිකාරී කාර්යාලය මගින් ක්‍රියාත්මක වන අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ නිලධාරීහු (SOCO) ස්ථානීය පරීක්ෂාවක් ද සිදුකළහ.

මෙසේ චාලිට ගිනිතැබීම සඳහා පැමිණි පුද්ගලයා විසින්, එතැන අතහැර දමා ගොස් තිබූ ගිනිපෙට්ටියක් සහ ඔහු රැගෙනවිත් තිබූ භූමිතෙල් බෝතලයේ පියන මත රැඳුණු ඇඟිලි සලකුණු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය. චාලි පිළිබඳව අසල්වාසී නිලධාරීවරයකු විසින් අසිතගේ පියාට ලබා දී තිබූ දුරකතන ඇමතුමක් මත, ඔහු පොලීසිය වෙත ගෙන්වා, ඔහුගෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබාගෙන ඔහුගේ ඇඟිලි සලකුණු ද ලබාගෙන ඒවා ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත යොමුකර තිබේ.

මීගමුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ෆෙඩ්‍රික් උදය කුමාර වුඩ්ලර් මහතාගේ උපදෙස් මත, එම පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නුවන් පෙරේරා, පොලිස් සැරයන් 31729 සිල්වා සහ පොලිස් සැරයන් 31097 ජයතිලක යන නිලධාරී මහත්වරු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිති.

බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය හැදෑරුවද, තම පශ්චාත් අධ්‍යාපන කටයුතු සඳහා යළිත් බ්‍රිතාන්‍යයට යාම හැරදා චාලි සමඟ සුරතල් වූ අසිතත්, පවුලේ සැමදෙනා මෙන්ම, සමස්ත ලෝකවාසී සියලු දෙනාත් චාලිට ගිනි තැබූ (තිරිසනා) හසුවන තුරු මෙම පොලිස් නිලධාරී කණ්ඩායම දෙස බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටිති.

චාලිගේ ම්ලේච්ඡ ඝාතනයට එරෙහිව මීගමුවේදි සත්ත්ව අවිහිංසා සංගම් මගින් විරෝධතාවයක්ද පවත්වන්නට නියමිතය. චාලිගේ මරණයට සම්බන්ධ නිශ්චිත තොරතුරක් ලබාදෙන අයකුට රුපියල් ලක්ෂ එකහමාරක ත්‍යාග මුදලක් ලබාදීමටද සත්ත්ව අවිහිංසා සංවිධානයක් ඉදිරිපත්ව සිටී.

 කටුනායක ටී.කේ.ජී. කපිල