2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ගුප්ත මිනිසකුගේ කතාව

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 22

එදිනෙදා සමාජය තුළ ගැටෙන ඔබට නොයෙකුත් මාදිලියේ මිනිසුන් හමුවනු ඇත. මිනිසුන්ගේ චර්යාවන් අනුව ඔබට හමුවන එවැනි අය විවිධ ගති පැවතුම් ඇති පුද්ගලයන් බවද වැටහෙනු ඇත. මේ අය අතර වැඩිය කතා බහ නොකරන ඇස් දිහා නොබලන, සැකෙන් ඔබ දෙස බලන මිනිසුන් ගුප්ත අය ලෙසින් හඳුනාගැනීමට ඔබට හැකිය.

යම් කෙනකුගේ චරිතය ගුප්ත හෝ සැක සහිත වූ පමණින්ම ඔහු හෝ ඇය මානසික රෝගයකින් පෙළෙන බව ස්ථිරව කිව නොහැකිය. නමුත් සමහර මානසික රෝගවල කොටසක් ලෙස සැකය, චකිතය, භය, හුදකලා වීම වැනි ලක්ෂණ දක්නට ලැබේ.

බොහෝ දෙනා කීවේ සුමේධ ගුප්ත මිනිසකු බවයි. මිනිසුන් ඇසුරු නොකරන, හුදකලා ජීවිතයක් ගත කරන රැකියාවක් නිසි ලෙස කළ නොහැකි, තම මවගේ වැටුපෙන් යැපෙන සුමේධ පවුලට මහත් බරක් විය.

සුමේධට මානසික රෝගයක් ඇතැයි සැක කළ ඔහුගේ බුද්ධිමත් මව අප සායනයට යොමු වූයේ තනිවමයි. සුමේධගේ කතාව ඇය අපට මෙහෙම කීවා.

“මගේ පුතාගේ වයස අවුරුදු හතළිහයි. ඔහු හොඳට ඉගෙනගත්තා. පුවත්පත් කලාවේදියෙක් විදිහටත් වැඩ කළා. දැන්නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. කාමරෙන් එළියට එන්නේ කන්න ඕන වුණාම විතරයි. බුදු රූප, දේව රූපවලින් කාමරය පිරිලා. උදේ පාන්දර හතරට විතර නැගිටින්නේ. හඳුන්කූරු, පහන් පත්තු කරලා තමයි දවසේ වැඩ පටන්ගන්නෙත්. ඉන් පසු භාවනා කරනවා. භාවනා කරන්නේ ඇයි කියලා ඇහුවම ඔහු කියන්නේ යම් බලයක් මනසට හා ශරීරයට ලබාගන්න පුළුවන් බවත් එම බලයෙන් විශ්වය ආරම්භ වුණු හැටිත් එය අවසාන වන හැටිත් අවබෝධ කරගන්න පුළුවන් කියලයි.

ඔහු හරියට පොත් කියවනවා. ඒ බොහෝමයක් පොත් ජ්‍යොතිෂ්‍ය හා නක්ෂත්‍ර පිළිබඳවයි. ඔහු හරිම අපිරිසිදුයි. මාසයකට සැරයක්වත් නාන්නේ නෑ. තාපසයෙක් වගේ රැවුල වවාගෙන ඉන්නේ. හරියට තරහා යනවා. වැරදිලාවත් ඔහු භාවනා කරන වෙලාවට ඔහුගේ කාමරයට ගියොත් දැඩි ලෙස කෝපයට පත් වෙනවා.

මෙහෙම කෝපයට පත්වෙලා මට පහර දුන් අවස්ථා එමටයි. වරක් ඔහු ජීවිතය එපා වෙලා පෙති වගයක් බීලා ජීවිතය නැති කරගන්න උත්සාහ කළා. බොහෝම අමාරුවෙන් තමයි ජීවිතය බේරගත්තේ.”

සුමේධ කේන්දර බලන්නයි සාස්තර කියන්නයි දක්ෂ බවත් මව කීවාය. මෙය උපයෝගී කරගෙන බොහෝම අමාරුවෙන් සුමේධව මේ සායනයට ගෙන්න ගන්න අපට හැකිවිය. කහ පාටට හුරු දිග ඇඳුමකින් සැරසුණු තාපසයකුගේ රැවුල වවා ගත් සුමේධ ඔහු ගැන වර්ණනා කළේ මෙසේය.

“මම යම් සත්‍යයක් සොයාගෙන යනවා. ඒ තමයි විශ්වය ආරම්භ වුණු සහ අවසාන වන හැටි. මේ හැකියාව භාවනාවෙන් තමයි ලබාගන්න පුළුවන්. මේකට තව අවුරුදු කීපයක්ම ගතවෙයි. අම්මා හිතන්නේ මම මානසික රෝගියෙක් කියලා. මට ඇති මානසික රෝගයක් නෑ.”

“ඇයි ඔබ රැකියාවක් නොකරන්නේ?”

මේ ප්‍රශ්නය ඇසූ විට ඔහු මහත් වේගයෙන් කොක් හඬලා සිනාසුණේය. එය අසාමාන්‍ය සිනහවක්. ඔහුට වටපිටාවේ තවත් මිනිසුන් සිටින බව අමතක වී තිබිණි.

“මොකටද රස්සාවක් කරන්නේ? ලෝක විනාශය අත ළඟ තියෙද්දී?”

ඔහු පිළිතුරු දුන්නේය.

සුමේධ කතා කරන විට චකිතයකින් සහ සැකයකින් වගේ වටපිට බලන බවක් පෙනුණි. ඔහු කතා කරන විට ඇස්වලින් සම්බන්ධ නොවී මුහුණ සැඟවීමට උත්සාහ කරන බවක් ද පෙනී ගියේය.

සුමේධ වැනි පුද්ගලයන් ඔබට හමු වී තිබෙන්න පුළුවනි. ඔහු පෞරැෂ භින්නතාවයකින් පෙලෙන මානසික රෝගියෙකි. මේ පෞරුෂ භින්නතාවය ක්සොටිපල් (Schizotypal) පෞරුෂ භින්නතාවය නමින් හඳුන්වනවා.

මෙම රෝගය හඳුනා ගැනීමේ ලක්ෂණ

1%ක් පමණ ප්‍රජාව තුළ දක්නට ඇත.

සයිකෝෂියාවට සමාන ලක්ෂණ ඇත. නමුත් මෙය සයිකෝෂියාව නොවේ. තමාට දිවැස් හෝ අනාගතය ගැන කීමට බලයක් ඇතැයි සිතීම, ශරීරය පිළිබඳ මායාකාරී සිතුවිලි ඇතිවීම.

අපිරිසිදුකම, පිළිවෙලක් නැතිකම සහ ජීවිතයෙන් පලා ගොස් විකාර රූපි සිතුවිලි (Magical) තුළ ජීවත් වීම.

භය, චකිතය හා දැඩි ආතතියකින් පෙළීම නිසාම සමාජ ආශ්‍රයෙන් ඈත් වී හුදකලාව ජීවත් වීමට ඇති ආශාව.

නිතරම සැකයෙන් ජීවත් වීම. මීට හේතුව සමාජභීතිය, අවිශ්වාසය සහ ආත්ම අභිමානය අඩුවීම වැනි හේතූන්ය.

ක්සොටිපල් නැමැති මෙම පෞරුෂ භින්නතාවය භින්නොන්මාදය නැමති මානසික රෝගයට ළඟ නෑදෑකමක් දක්වනවා. බොහෝ විට භින්නොන්මාදය නමැති ප්‍රබල මානසික රෝගය ඇති පවුලක ළඟම ඥාතීන්ට මෙම පෞරුෂ භින්නතාවය තිබීමට පුළුවනි.

භින්නොන්මාදයේදී මෙන් මෙහිදී මොළයේ මස්තිෂ්ක තරලයේ වැඩිවීම (C.S.F) සහ හෝමෝවැනිලික් නැමති (Homovanillic Acid) රසායනිකයේ වැඩි වීම මෙම රෝගයේදී ද ඇති වනවා.

නමුත් භින්නොන්මාදය නැමති මානසික රෝගයේදී මෙන් සයිකෝසියාවේ (Psychosis) ලක්ෂණ දක්නට නැහැ. එනම් කිසිවකු පාලනය කිරීම, ශබ්ද ඇසීම, සිතුවිලි මනසට දැමීම, තමාගේ සිතුවිලි සොරකම් කිරීම වැනි ලක්ෂණ. මීට හේතුව ක්සෝටිපල් නැමති මෙම පෞරුෂ භින්නතාවයේදී මස්තිෂ්කයේ පූර්ව කොටසට හානියක් සිදු නොවීමයි. ඩෝපමීන් නැමති රසායනිකයේ වැඩි වීමක් සිදු වන්නේ නැහැ.

සුමේද යථා තත්ත්තවයට ගැනීමට ප්‍රබල සටනක් කිරීමට සිදු වුණා. ඔහු සමග වාද විවාදවලට නොපැටලී ජීවිත සහ අනාගතය පිළිබඳ සිතුවිලි ක්‍රමයෙන් ඔහු තුළට ඇතුළු කිරීම හෙවත් සිතුවිලි ප්‍රතිකාරය යම් පමණකට සාර්ථක උපක්‍රමයක් වුණු අතර දැනට ඔහුට ඔහුගේ පරණ රැකියාවට (පුවත්පත් කලාව) මනස විවෘත කරදීමට අපට හැකි විය.

කිරිබත්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30